රාජකාරිය ඉටු කිරීමට ගොස් මියගිය තම පුතා වෙනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුව තමාව බලාගනීවි යැයි ලොකු විශ්වාසයක් ඇතැයි මත්කුඩු සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු ජා-ඇළ, ඇළට පැන පලා යන විට ඔහුව අත්අඩංගුවට ගැනීමට ඇළට පැන දියේ ගිලී මියගිය පොලිස් සැරයන් ක්‍රිෂ්ණ මූර්ති ප්‍රතාපන්ගේ පියා වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරියේ පෙරේදා (03) පැවසීය.
චාවකච්චේරියේ පදිංචි ක්‍රිෂ්ණ මූර්ති ප්‍රතාපන් ආධුනික පොලිස් කොස්තාපල්වරයකු ලෙස සේවයේ නිරතව සිටියදී අවාසනාවන්ත ලෙස දියේ ගිලී මිය යන්නේ පසුගිය 2023 වසරේ නොවැම්බර් 23 වැනිදාය.
ජා-ඇළ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටි මෙම නිලධාරියා මියගිය පසු පශ්චාත් උසස්වීම් පදනම යටතේ පොලිස් සැරයන් ධුරයට උසස් කිරීමට පියවර ගෙන තිබිණි.
මෙම නිලධාරියා සිය ජීවිත අවදානම ගැන නොතකා පලා යමින් සිටි සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ඇළට පැන සිදු කළ වීරක්‍රියාව අගයමින් පොලිස් ත්‍යාග අරමුදලින් අනුමත කරන ලද රුපියල් ලක්ෂ 15ක මුදලක් වැඩ බලන පොලිස්පතිවරයා විසින් එම නිලධාරියාගේ මවුපියන්ට පෙරේදා පොලිස් මූලස්ථානයේදී ප්‍රදානය කළේය. ක්‍රිෂ්ණ මූර්ති ප්‍රතාපන්ගේ පියා විසින් පුතා මියගිය ද පොලිසිය තමාව බලා ගනීවි යැයි කියා පවසා ඇත්තේ එහිදීය.