Home » මාකිලංගමුවේ සංජීවගේ සහායක වත්තල ක්‍රීඩා ගුරාගේ කබඩ් එකේ ගිනි අවි පොලිස් ක්‍රීඩා ඇඳුම් කට්ටලයකුත් හමුවේ

මාකිලංගමුවේ සංජීවගේ සහායක වත්තල ක්‍රීඩා ගුරාගේ කබඩ් එකේ ගිනි අවි පොලිස් ක්‍රීඩා ඇඳුම් කට්ටලයකුත් හමුවේ

by mahesh
January 5, 2024 1:00 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ

මේ වන විට රැඳවුම් නියෝග මත පොලිස් භාරයේ සිටින මාකිලංගමුවේ සංජීව නමැති පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුගේ මුදල් හා අවි ආයුද හුවමාරු කරමින් සිටි වත්තල ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ පාසලක ක්‍රීඩා භාර ගුරුවරයකු අත්අඩංගුවට ගත් මහබාගේ පොලිසියේ නිලධාරින් පාසලේ ක්‍රීඩා භාර ගුරුවරයාගේ කාමරයේ කබඩ් එකක් තුළ සඟවා තිබූ ටී-56 ගිනිඅවියක්, මැගසින් 4ක්, එම අවියට යොදන පතරොම් 125ක් සහ මිලිමීටර 9 වර්ගයේ පතරොම් 18ක් ඊයේ (04) සොයාගෙන තිබේ.

ඊට අමතරව එම කාමරයේ තිබී පොලිස් නිලධාරින්ගේ ක්‍රීඩා ඇඳුම් කට්ටලයක් ද හමුවී තිබේ.ඩුබායිහි මේ වන විට රැඳී සිටින මාකිලංගමුවේ සංජීවගේ සමීපතමයකු වන ළහිරු නමැත්තා විසින් දුරකතනයෙන් කතා කොට එම ගිනිඅවිය වෙනත් පුද්ගලයකු මඟින් තමාට ලබා දුන් බව ප්‍රශ්න කිරීමේදී සැකකාර ගුරුවරයා පවසා තිබේ. මෙම ගුරුවරයා අවුරුදු 39ක් වයසැති රාගම පේරලන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අවුරුදු 15ක් තිස්සේ ඔහු මෙම පාසලේ ක්‍රීඩා ගුරුවරයා ලෙස කටයුතු කරන බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ඉකුත් නොවැම්බර් මාසයේදී මෙම ගිනිඅවිය කවරයක ඔතා මෙහි රැගෙනවිත් සැඟවූ බව ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු පවසා ඇත. මාකිලංගමුවේ සංජීව අත්අඩංගුවට ගැනීමට පෙර මත්කුඩු ජාවාරමෙන් උපයා ගන්නා මුදල් උන්ඩියල් කිරීම සඳහා කොළඹ යම් ස්ථානයකට රැගෙනවිත් දී ඇත්තේ මෙම ගුරුවරයා බවට ද තොරතුරු අනාවරණය වී ඇත. වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි බස්නාහිර උතුරු දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ මෙහෙයවීමෙන් මහභාගෙ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුභාෂ් ප්‍රියදර්ශන මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් මෙම වැටලීම කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT