දැනට වසර ගණනාවක් පුරාවට ලෝකයේ මූලිකත්වය දුන් පුවතක් වූයේ යුද්ධයි. එය වර්තමානයේ ආසන්නම ලෙසින් කියවුණේ යුක්‍රේනය රුසියා යුද්ධය හා ඊශ්‍රායල හමාස් ගැටුම මූලික කරගනිමිනි. එහෙත් කලක් යනවිට ඕවාද සාමාන්‍ය මට්ටමට දැනෙන්නට වූයේ මිනිසුන්ගේ යුද පුවත් දැන ගැනීමේ උපයෝගීතාවයන් පවා හීනවෙමින් පැවැති නිසාය. එහෙත් නැවුම් පුවතක් ලෙසින් නව අවුරුදු උදාවත් සමඟ ජපානයෙන් ආරංචි වූයේ සතුටුවිය හැකි ආකාරයේ ප්‍රවෘත්තියක් නොවේ. එකී පුවත්වලින් කියවුණේ ජපානයේ මධ්‍යම කලාපයට බලපෑ මැග්නිටියුඩ් 7.6ක භූ කම්පන සිදුවීමයි.
මෙම භූ කම්පනය සිදුවීමත් සමඟ විශාල ගොඩනැඟිලි කඩාවැටීම් සිදුවූ අතර මහාමාර්ග පවා පුපුරා විනාශව ගොස් තිබිණි. මෙම විනාශවීම් සමඟ ජනවාරි 1 වැනි සඳුදා නිවාස දස දහස් ගණනක විදුලිය විසන්ධි කර තිබූ අතර එම ප්‍රදේශයේ පදිංචි ජනතාව ආරක්ෂිත කලාප වෙත යොමු කෙරිණි.
මෙම කම්පන තත්ත්වය 7.6ක පමණ ප්‍රබලත්වයකින් ආරම්භ වනවිට බටහිර වෙරළ තීරයෙහි මීටරයක පමණ රළ ඇති විය. මෙහි ආරම්භයත් සමඟ ප්‍රංශ පුවත් සේවය සඳහන් කර සිටියේ බටහිර වෙරළ තීරය මීටර් 5ක පමණ ජල ගැල්මකට ලක්වීමේ හැකියාවක් තිබෙන බවකි. කෙසේ වෙතත් මේ හේතුවෙන් ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සුනාමි අනතුරු ඇඟවීමේ සංඥා ද නිකුත් කරන්නට විය.
රොයිටර් පුවත් සේවයට අනුව ඔවුනට ආරම්භයේදී මින් සිදු වූ මිනිස් ජීවිත හානි සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට හැකි වූයේ එක් පුද්ගලයකු පමණක් මිය ගිය බවයි. එය ද සඳහන් වූයේ ඉෂිකාවා ප්‍රාන්තයේ, ෂිකා නගරයේ ගොඩනැඟිල්ලක් කඩා වැටීමෙන් වයෝවෘද්ධ පුද්ගලයකු මිය ගිය ලෙසිනි. ජපානයේ ඇති වූ මෙම භූ කම්පන තත්ත්වය හේතුවෙන් රුසියාව හා උතුරු කොරියාව ද තම කලාපයන්හි සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරන්නට කටයුතු කළේය.
ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කර ඇත්තේ පසුගිය සඳුදා දිනයේදී මිනිත්තු 90කට වැඩි කාලයක් මධ්‍යම ජපානයට මැග්නිටියුඩ් 4.0කට වැඩි ප්‍රබලත්වයකින් යුතු භූමිකම්පා 21ක් සිදුව ඇති බවය. එහෙත් එදින සිදුවූ ප්‍රබලත්වයෙන් වැඩිම භූමිකම්පාවේ අගය ලෙසින් දැක්වෙන්නේ මැග්නිටියුඩ් 7.6කි.
මෙම භූ කම්පන ක්‍රියාවලියේ ආරම්භයත් සමඟම ජපාන බලධාරීන් නිවේදන නිකුත් කරමින් කියා සිටියේ හැකි ඉක්මනින් තම ආරක්ෂිත ස්ථාන කරා ළඟාවන ලෙසයි. මේ සමඟම එරට අගමැතිවරයා ද මෙම කලාපය තුළ වූ ජනතාවගෙන් ඉල්ලා සිටියේ තම ජීවිත බේරා ගැනීම වෙනුවෙන් උස්බිම් සඳහා යන ලෙසයි.
ජපානයේ භූ කම්පන
ජපානය යනු භූ කම්පන බහුල වශයෙන් ඇතිවන රටක් ලෙසින් අතීතයේ සිට හැඳින් වේ. එසේම මැග්නිටියුඩ් 6ට වඩා ප්‍රබලත්වයකින් යුත් භූ කම්පන 20%ක පමණ ප්‍රමාණයක් සිදුවන්නේ ද ජපානයේය. මෙහි ප්‍රබලත්වයෙන් වැඩිම භූ කම්පනය සිදු වූයේ මැග්නිටියුඩ් 9 යුතුව 2011 වසරේදී වන අතර එහිදී 20,000 ගේ ජීවිත අහිමිව ගොඩනැඟිලි විශාල වශයෙන් ද හානිවීමක් ද දක්නට ලැබිණි. ජපානයේ ඊසානදිග ඇති වු මෙකී භූ කම්පනය හේතුවෙන් ෆුකුෂිමා යනුවෙන් හැඳින්වෙන න්‍යෂ්ටික බලාගාරයට ද හානි සිදුවිණි.
2011 වසරේදී වැඩිම ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනය සිදුවුවද එරට දරුණුතම ස්වභාවික විපත ලෙසින් දැක්වෙන්නේ 1923 සැප්තැම්බර් 01 වැනිදා සිදුවූ Great Kanto භූ කම්පනයයි. එයින් එක්ලක්ෂ හතළිස් දහසකගේ පමණ ජීවිත හානි වූයේ 44,000ක පමණ ජනයාට උන්හිටිතැන් පවා අහිමි කරමිනි.
ජපානය නිරන්තරයෙන් භූමිකම්පා මඟින් අවදානමකට ලක්වන රටක් හෙයින් ඔවුන් තම ලේඛනයන්හි ජපානයෙහි සිදුවන භූමිකම්පා වාර්තා කිරීම ආරම්භ කළා යැයි සැලකෙන්නේ 416 වන වර්ෂයේ අගෝස්තු 23 වනදාය. එදින ඔවුන් සඳහන් කර ඇත්තේ යමටෝහි සිදුවූ භූ කම්පනයක් සම්බන්ධයෙනි. එහෙත් ඔවුන්ගේ මතය වන්නේ එය කවරාකාරදැයි නිශ්චිතවම කිව නොහැකි මුත් නිරවද්‍යතාවයෙන් යුතුව පැවසිය හැක්කේ 599 වර්ෂය පිළිබඳව කතා කළ හැකි බවකි. එනම් ලේඛනගත පළමු භූ කම්පනය ලෙසින් ඔවුන් අදටත් විශ්වාසයෙන් යුතුව සඳහන් කරනුයේ 599 මැයි 28 සුයිකෝ අධිරාජ්‍යයාගේ පාලන සමයේදී යමාටෝ පළාත සුනු විසුනු කරමින් නාරා ප්‍රාන්තයේ සිදුවූ භූකම්පනයයි.
ජපානය වඩාත් භූ කම්පන ක්‍රියාකාරිත්වයකින් යුත් රටක් වන්නේ ජපානය පිහිටා ඇත්තේ ප්‍රධාන භූතැටි හතරක් එක්වන ස්ථානයේ වීම හේතුවෙනි. වඩාත් භූ කම්පනවලට මුහුණ දෙන ප්‍රදේශ ලෙසින් ඔවුන් හඳුනාගෙන ඇත්තේ ජපන් මුහුදේ වෙරළ තීරය හා Sanrika ප්‍රදේශයයි.
ජපාන අගමැතිවරයා
කොයිහැටි වෙතත් මේ සිදුවුණු විශාල බිඳවැටීම් හා ගොඩනැඟිලි විනාශයන් සමඟින් ජපාන අගමැතිවරයා පවසන්නේ මෙවැන්නකි.
“අපට දැන් සිදුකිරීමට ඇත්තේ කාලය සමඟ සටනක්, මොකද දැන් ආපදාවන්ට පත්වූවන් මුදා ගැනීම හා සෙවීමට කාලය වැය කළ යුතුව තිබෙනවා. කඩාවැටීම්, ගිනි ගැනීම් සමඟ විවිධ හානි බහුල ලෙසින් සිදුව තිබෙනවා” යනුවෙනි.
ඔහු තවදුරටත් සඳහන් කර සිටියේ නේටෝ අර්ධද්වීපයේ උතුරු කෙළවරට ළඟාවීමට සහන සේවකයන්ට අපහසුව ඇති බවයි. මේ වන විට ජපාන බලධාරීන් විසින් සඳහන් කරනුයේ කඩා වැටුණු නිවාස සහ සුන්බුන් අතර සිරවූ පුද්ගලයන් සොයා ගැනීම වෙනුවෙන් සහන සේවකයන් 1000කට වඩා පිරිසක් ඒ සඳහා යොමු කර ඇති බවයි. භූමිකම්පාව මෙන්ම තවත් පීඩාකාරී දෑවලට අවතැන් වූවන්ට මුහුණදීමට සිදු වූයේ විදුලිය ඇණහිටීම හේතුවෙනි. මන්ද අධික ශීතලට මුහුණදීමට ඔවුනට සිදුව ඇති හෙයිනි. එමෙන්ම බොහෝ නගරවලට ජලය ද නොමැති තත්ත්වයක් ඇතිව තිබිණි. පවුල් 33,000කට අධික පිරිසක් මේ වනවිට අවතැන් තත්ත්වයට පත්ව සිටින බව ජපාන මාධ්‍ය වාර්තා කරයි. මෙවන් වටාපිටාවක සිටින තම ජනතාව වෙනුවෙන් ජපාන හමුදාව විසින් ජලය, ආහාර මෙන්ම ශීත තත්ත්වයෙන් මිදීම සඳහා බ්ලැන්කට්ටු ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගණනාවක් ලබාදීමට කටයුතු කළේය. මේ අතරම එරට න්‍යෂ්ටික අධිකාරිය වඩාත් වැදගත් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ භූමිකම්පාවෙන් මෙන්ම සුනාමි තත්ත්වයෙන් හානියට පත් ප්‍රදේශයන්ට න්‍යෂ්ටික බලාගාර තුළින් විකිරණ කාන්දුවීමේ අවදානමක් නොමැති බවයි.
මේ වනවිට විශාල ගොඩනැඟිලි හානිද සමඟින් පුද්ගල ජීවිත 61ක් පමණ අහිමිව ගොස් ඇති බව ජපාන පුවත් සේවා සඳහන් කරයි. වඩාත් අවදානම් තත්ත්වය වූයේ මාර්ග කැඩී බිඳී යාම නිසා බේරා ගත් තුවාලකරුවන් රෝහල් කරා රැගෙන යාමට අපහසුතා මතුවීමයි. බේරා ගැනීමේ මෙහෙයුම්වලට තවත් බාධාවක් වූයේ ධාවන පථයට හානිවීම නිසා ගුවන්තොටුපොළක් ද වසා දැමීමට සිදුවීමයි. මෙම සියලු සිද්ධිදාමයන් අතරේ වඩාත් හානියක් වූ නගරය වූයේ වජිමායි. නිවාස සියයකට වඩා මෙහි විනාශව ගොස් ඇති අතර, 20 දෙනෙකු පමණ මිය ගොස් ඇති බව ද සඳහන් වේ. Asachi – Dori යනු බොහෝ සංචාරකයන් පිරිසක් නැරඹීමට එන වැඩි වශයෙන් දැවමය ගොඩනැඟිලි සහිත දිස්ත්‍රික්කයකි. වඩාත් දරුණුතම පීඩාවට පත් නගරය වන්නේ ද මෙම නගරයයි. එහි නිශ්චිත වශයෙන් මිය ගිය හෝ තුවාල ලැබූ පුද්ගලයන් පිළිබඳ විස්තරයක් මේ වනවිටත් සඳහන් වන්නේ නැත. මේ වනවිට මෙකී තත්ත්වයන් නිසා බුලට් දුම්රිය සේවාවක් හා ගුවන් ගමන් ද තාවකාලිකව ඇණහිටීමකට ලක්ව තිබේ.
ටෝකියෝවත් සෙලවෙයි
මූලිකම අවස්ථාවේ විදුලිය හා දුරකතන සේවා පවා සියල්ල බිඳ වැටුණ ද දුරකතන සේවා මේ වනවිට යළිත් යථා තත්ත්වයට පත්වෙමින් පවතී. නව වසර ආරම්භයේදී සිදුවූ භූ කම්පනයත් සමඟින් කිලෝමීටර් 300ක් පමණ දුරින් පිහිටි ටෝකියෝහි ගොඩනැඟිලි පවා සෙලවීමකට ලක් වූ බව දන්වා සිටින්නේ ජපානයේ මාධ්‍යයයි. පළමු භූ කම්පනයෙන් පසු දින කිහිපයක් තුළ පසු කම්පන ඇති විය හැකි බව ජපාන කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේය. ඔවුන් පැවසුවේ කලබලකාරි ස්වභාවය පහව ගිය ද පසුකම්පන තත්ත්වයක් ඇති විය හැකි බැවින් නැවත නිවෙස් කරා නොයන ලෙසයි.
ඇති වූ මෙම භූ කම්පන තත්ත්වයත් සමඟින් ලෝකයේ බොහෝ රටවල් ජපානයට ආධාර දීමට එක් විය. එමෙන්ම ඔවුන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් තම නිවේදනයක් ද නිකුත් කළහ. අමෙරිකා එක්සත් ජනපදයේ ජනපති ජෝ බයිඩන් ප්‍රකාශ කර සිටියේ,
‘මම දරුණු භූමිකම්පාවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් යාච්ඥා කරනවා. ජපන් නිලධාරීන් සමඟ මගේ පරිපාලන නිලධාරීන් සම්බන්ධව සිටින අතර ජපන් ජනතාවට අවශ්‍ය වන ඕනෑම ආධාරයක් ලබාදීමට එක්සත් ජනපදය සූදානම්. මිත්‍ර රටවල් ලෙස අප ජපානය සහ අපගේ ජනතාව සමඟ ගැඹුරු මිත්‍රත්ව බැඳීමකින් යුක්ත වනවා. මෙම දුෂ්කර අවස්ථාවේ අපගේ සිතුවිලි ජපන් ජනතාව සමඟ වේ යනුවෙන්.
එමෙන්ම මෙම අසීරු අවස්ථාවේදී බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් පැවසුවේ “මගේ සිතුවිලි මෙතරම් හානියක් සිදුවූ ජපානයේ, එයින් පීඩා විඳින විපතට පත් සියලු දෙනා සමඟය. ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා එක්සත් රාජධානියේ විශිෂ්ටතම මිතුරකු වන අතර අපි ජපානයට සහාය වීමට සූදානම්. එහි සිදුවන සංවර්ධනාත්මක කටයුතු සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරමින් සිටිමු” යනුවෙනි. තවදුරටත් ඔහු සඳහන් කර සිටියේ විපතට පත් ප්‍රදේශවල සිටින බ්‍රිතාන්‍ය ජාතිකයින් ජපන් බලධාරීන්ගේ උපදෙස් පිළිපැදිය යුතු බවත්ය.
මේ අතරම ඉන්දියාවද ජපානයට ආධාර කිරීමට ඉදිරිපත් විය. ජපානයේ ඉන්දීය තානාපති කාර්යාලය ප්‍රකාශ කර සිටියේ ජපානය සහ එහි වැසියන් සමඟ සහයෝගයෙන් කටයුතු කළ බවත්, මෙම දුෂ්කර අවස්ථාවේදී ජපානයට උදව් කිරීමට තමන් සූදානම් බවත්ය.