‘තුඩු’ උපහාර සංගීත ප්‍රසංගය ඉකුත් දා බත්තරමුල්ල, අපේ ගම පරිශ්‍රයේදී පැවැත්විණි. ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය, රෝහණ වීරසිංහ මහතා දැක්වූ අදහස් ඇසුරෙන් මේ ලිපිය සැකසිණි.
වී. හේමපාල ගැන….
ඔබ ඉගෙන ගත්තේ ඉන්දියාවේ කොයි ප්‍රදේශයේද? කාගෙන්ද?… වී. හේමපාල වරක් ඉන්දියාවේදී පැවැත්වූ වාදනයකින් පසුව එරට ප්‍රවීණ උස්තාද්වරු, පණ්ඩිත්වරු ගණනාවක්ම විමසා සිටියහ.
‘මං ශ්‍රී ලංකාවේ. තනිව සංගීතය අසා, සවන් දීමෙන් ඉගෙන ගත්තේ’ ඒ, හේමපාලගේ උත්තරයයි.
ඉන්පසුව ඒ ගැන කතා කළ අයට හේමපාල කිවුවේ, මං ඉන්දියාවේ ගිහින් තිබුණා නම් ඒ ගෞරවය අයිති වෙන්නේ අපේ රටට නෙවෙයි, ඉන්දියාවට. ප්‍රායෝගික, ශාස්ත්‍රීය දැනුම තුළින් ඔහු මේ ගමන ආවේ.
වර්ෂ 1986දී පමණ යුරෝපා සංචාරයක් අතරතුරදී, එංගලන්ත අක්ෂි විශේෂඥ වෛද්‍යවරයකු පවසා තිබුණේ ඔහුට පෙනීම ලබා දිය නොහැකි බවයි. නමුත්, ඔහු ගෝලයන් රැසකටම අත දුන් කෙනෙක්.
ඇන්තනි සුරේන්ද්‍ර ගැන…
ඇන්තනි සුරේන්ද්‍රගේ පියා එන්. ඇන්තනි. ප්‍රවීණ මැන්ඩලීන්, බැංජෝ ශිල්පියෙක්. රජයේ ලලිත කලායතනයේ මුල්ම සිසු පිරිස අතර ඔහුගේ පියා සමඟ ෂෙල්ටන් පෙරේරා ආදීන් සමඟ එකට උගත් කෙනෙක්. ගුවන්විදුලි වාද්‍ය මණ්ඩලයේ සිටි ප්රවීණතමයෙක්. පියාට වුවමනා වුණේ සුරේන්ද්‍රව කොළඹ ඉසිපතන විද්‍යාලයටම ඇතුළත් කර ගන්නයි. ඒත් සිංහල පන්තිවල තිබූ ඉඩකඩ ප්‍රශ්නයක් මත ඔහුව දෙමළ පන්තියකටයි ඇතුළු කළේ. එසේම, සුරේන්ද්‍රගේ මුල් ගුරුවරයා වුණෙත් පියා. ඔහු උදෑසන රාජකාරියට නිවෙසින් පිටව යන විට බැන්ජෝ, මැන්ඩලීන වාදන පුහුණු පැවරුමක් සුරේන්ද්‍රට පවරනවා. නැවත සවස නිවෙසට පැමිණෙන පියාට සුරේන්ද්‍ර ඒ වාදනය කරනවා. අවුරුදු 13-14 වනවිට සුරේන්ද්‍රට බැන්ජෝ, මැන්ඩලීන් ආදී වාදන භාණ්ඩ හොඳින් අතට හුරුයි. මුල් පටිගත කිරීම්වලදීම සුරේන්ද්‍ර වළාකුලක් ගෙන, රුදුරු තුරු වදුලේ, මාලතී වසන්තේ, මගේ අමල් බිසෝ, සියාතුවේ මා මිතුරේ, රන් දෙවොලෙන් බැස එන්, නොබලන් කුමරිය, කළේ පැන් ඇත, ලෙන්චිනා මගෙ, පිලේ පහන නිවුවා මං, පුන්සඳ රෑට, හිත ඔබ පාමුල, ඇසුවේද කවුරුන් හෝ, හරිහම්බ කරපු දේවල් ආදියට මැන්ඩලීන් වාදනයෙන් කළ හපන්කම් විශිෂ්ටයි.
කලණි පෙරේරා ගැන…
නුගේගොඩ උපන් කලණි පෙරේරා මීගමුවේදී අයිවෝ ඩෙනිස් සූරීන්ගෙන් මුල් කාලයේදී සංගීතය උගත් අයෙක්. පසුකලෙක තර්ස්ටන් විද්‍යාලයට ඇතුළු වූ ඔහු වයලීන වාදනය ප්‍රවීණ සංගීතඥ යෝගානන්ද බාලසූරිය යටතේ හදාරනවා. ඩී. ඩී ගුණසේන හා තිස්සසිරි පෙරේරා ගුවන්විදුලියේ කලණිගේ සමකාලීනයන්. වික්ටර් පෙරේරා මෙන්ම අර්ල් ද සොයිසාගෙන් කලණි ශිල්ප ඉගෙන තියෙනවා. ඒ ඇසුරෙන් කලණි ඔහුගේම ශෛලියක් නිර්මාණය කර ගත්තා. කලණි ජනප්‍රිය ප්‍රසංග රාශියකටම දායක වූ අයෙක්. එමෙන්ම හේමපාල, සුරේන්ද්‍ර මෙන්ම කලණි ද බොහෝ ජනප්‍රිය ගී වල මුල් පටිගත කිරීම්වලට වාදනයෙන් දායක වූ අයෙක්. ඊට නිදසුන් කිහිපයක් විදිහට, ඔබයි රම්‍ය සඳ කිරණ, සුවඳ දැනී, කුමාරයාණෙනි, මලක් වුණේ ඇයි, අත්වැල ගිලිහී, අපි නටමු, සඳරේඛා, සිරින් බිරින්, කැරකෙන රෝදේ, නෙතු දැහැන් බිඳී… ආදිය දැක්විය හැකියි.
කතුරු මිතුරු දින 100යි
ආචාර්ය ජයලත් මනෝරත්නයන් මිය යෑමට පෙර රංගනයෙන් දායක වූ අවසන් සිනමාපට අතර ‘කතුරු මිතුරු’ සුවිශේෂි නිර්මාණයකි. සිකුරු හතේ, සුහද කොකා සිනමා නිර්මාණවලට පසුව ගිරිරාජ් කෞෂල්‍යගේ කතාව, තිර පිටපත සමඟ අධ්‍යක්ෂණය කළ , “කතුරු මිතුරු” සිනමාපටය පසුගියදා දින100 පසු කළේය. එය ආලංකුලම ෆිල්ම් වෙනුවෙන් බාසුරු සිරිවර්ධනගේ නිෂ්පාදනයකි. දින 100 පසු කරන විට හත්ලක්ෂ විසිපන්දහකට අධික ප්‍රේක්ෂක සංඛ්‍යාවක් සිනමාපටය නරඹා තිබිම විශේෂත්වයකි. ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයට 60,70,80, දශකවලින් පසු වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාවක් නැරඹූ සිනමා පට අතරට මෙම සිනමා පටය එක්වෙයි. මේ වන විට ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව, ජපානය, එංගලන්තය සහ ඉතාලිය යන රටවල මෙම චිත්‍රපටය ආදායම් වාර්තා තබමින් තිරගත වේ. ආචාර්ය ජයලත් මනෝරත්න, මහේන්ද්‍ර පෙරේරා, රොඩ්නි වර්ණකුල, ප්‍රියන්ත සෙනෙවිරත්න, ගිරිරාජ් කෞශල්‍ය, සම්පත් ජයවීර, ගිහාන් ප්‍රනාන්දු, මොරින් චාරුණි, ජයනි සේනානායක, රංග ජයකොඩි සහ සිනමාවට හඳුන්වා දුන් රසාංජන නන්දසිරි සහ සඳනි හෙට්ටිගොඩ රංගනයෙන් එක්වෙති.
ගෝතමියෙන් ‘කාච’ ප්‍රදර්ශනයක්
කොළඹ ගෝතමී විද්‍යාලීය ඡායාරූප අංශයට වසර 25ක් පිරිම මුල්කර ගනිමින් සංවිධානය කරනු ලැබූ අන්තර් පාසල් ‘කාච’ ඡායාරූප ප්‍රදර්ශනය පසුගිය දින ගෝතමී විද්‍යාලයේදී පැවැත්විණි. මෙම ඡායාරූප ප්‍රදර්ශනය සඳහා දිස්ත්‍රික්ක 25ම නියෝජනය කරමින් ඡායාරූපකරණයට දස්කම් දක්වන දරු දැරියන්ගේ ඡායාරූප ඉදිරිපත් කර තිබුණි. එහිදී වර්ණ ප්‍රථම ස්ථානය, දනුජ සන්තුස, කළු සුදු ප්‍රථම ස්ථානය රවිෂ්කා ප්‍රනාන්දු, මොබයිල් ප්‍රථම ස්ථානය සදරා දෙව්මිනි, පාඨශාලීය වර්ණ ප්‍රථම ස්ථානය සෙතුකි එතාරා, පාඨශාලීය කළු සුදු ප්‍රථම ස්ථානය චෙනුලි සුබසිංහ පාඨශාලීය මොබයිල් ප්‍රථම ස්ථානය චිතාරි ගුණසේකර හිම් කර ගත්හ.
සුපෙම් හැඟුම් 21 වැනිදා
දූවිල්ලෙන් සැදුණු ලියේ ගීතෙන් ලොවක් සනහා ලූ ප්‍රවීණ ගායන ශිල්පිණියක් හා රංගන ශිල්පිණියක් වන ප්‍රදීපා ධර්මදාසගේ ඒක පුද්ගල ගී දැහැන ‘සුපෙම් හැඟුම්’ එළඹෙන 21 වැනිදා සවස 6.30ට නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වේ. සුපෙම් හැඟුම් ගී දැහැන ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීත අධ්‍යක්ෂණයකි. එදින රෝහණ වීරසිංහයන්ගේ සංගීතයට ප්‍රදීපා ධර්මදාස සමඟ විශාරද එඩ්වඩ් ජයකොඩි, රූකාන්ත ගුණතිලක, කසුන් කල්හාර සමඟ රවින් කණිෂ්ක ප්‍රසංගය රසගන්වයි. ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි පූරක දායකත්වය ගෙනෙයි.
ගේය පද රචනා සංගමයේ මුලසුන්වලට නිලාර්, බන්දුල සහ රොබ්සන් යළිත්
2020 වසරේ ආරම්භ කරන ලද ගේය පද රචක සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා මහවැලි කේන්ද්‍රයේදී පැවැත්විණි. දිවයින පුරා විසිරී සිටින සියලූම ගේය පද රචක, රචිකාවන් එකට එක්කොට ඔවුන්ගේ සුබ සාධනය අරමුණු කර ගනිමින් එහි හිටපු නිලධාරින්ගේ ධුර කාලය අවසන් බැවින් නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීම සහ ඉදිරි වැඩපිළිවෙළ ප්‍රකාශයට පත්කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය.
ඒ අනුව සංගමය ආරම්භයේදී ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ සමඟ සමසභාපතීත්වය දැරූ නිලාර් එන්. කාසිම් නව සභාපති වශයෙන් ද, ලේකම්වරයා ලෙස ජෝජ් රොබ්සන් ද සිල්වා ද භාණ්ඩාගාරිකවරයා ලෙස බන්දුල නානායක්කාරවසම් ද නැවතත් තේරී පත්වූහ. කැලුම් ශ්‍රීමාල්, ආරාධනා ඒකනායක සහ චානක ජයසේකර පිළිවෙළින් උප සභාපති, උප ලේකම් සහ උප භාණ්ඩාගාරික තනතුරු සඳහා මෙහිදී තේරී පත්වූ අතර ප්‍රධාන සම්බන්ධීකාරකවරයා ලෙස ප්‍රවීණ ගායන ශිල්පි කීර්ති පැස්කුවල් මහතා කටයුතු කිරීම විශේෂත්වයකි. ඔහු සංගමය ආරම්භ කිරීම සඳහා අනුප්‍රාණය දුන් ශිල්පියෙකි. නව නිලවරණයේදී කාරක සභාව ලෙස උපාලි බණ්ඩාර වීරසේකර, රංජිත් රූපසිංහ, ශාන්ත ජයලත් තිසේරා, සුනිල් යෝගේන්ද්‍ර, බන්දුල ජයසිංහ, සමන් ප්‍රියදර්ශන, සම්පත් ප්‍රනාන්දුපුල්ලේ, දයානන්ද රත්නායක, උමා අසේනි, රසික ඩී. දුමින්ද, නෙලූකා සංජීවනී ප්‍රනාන්දු, සුගත් සෝමවීර සහ අසන්ති කරුණානායක තේරී පත්වූහ.
සාජන් ඥානපාල
යැංසි නටාෂාගේ නිෂ්පාදනයක් වන ප්‍රවීණ නාට්‍යවේදී කීර්ති බණ්ඩාරගේ 58 වැනි නවතම වේදිකා නාට්‍යය නිර්මාණය සාජන් ඥානපාලයි. එහි මංගල දර්ශනය එළැඹෙන 07 වැනිදා සවස මරදාන එල්පින්ස්ටන් රඟහලේදී වේදිකාගත කෙරේ. දයානන්ද හේවගේ, කීර්ති බණ්ඩාර, චාමර රාජපක්ෂ, ජයනා චාමිණි, ගාමිණී කුලසේකර, චින්තන පතිරණ, අරවින්ද පෙරේරා, ජගත් වීරකෝන්, නයනා හේමන්ති, සුරංගා නිලූසිණි, තාරුකා මිසගේ, චලනී මධුසංකා, ඩබ්ලිව් පෙරේරා, රංගනයෙන් දායක වෙති. මෙහි අංග රචනය නර්තනය, ඇඳුම් නිර්මාණය අරවින්ද පෙරේරාය. ආලෝකකරණය සුනිල් සමරකෝන්ය. රජ ඇඳුම් නිර්මාණය ඩබ්ලිව්. පෙරේරාගෙනි.
ජයලත් මනෝරත්නයන් ඇගයීමේ උලෙළක්
අඩ සියවසකට වැඩි කාලයක් කලා කෙත පෝෂණය කළ ප්‍රවීණ රංගන ශිල්පී, සාහිත්‍යවේදී ජයලත් මනෝරත්නයන් ඇගයීමේ සමරු උත්සවයක් බණ්ඩාරනායක සමරු ශාලාවේ කමත රඟහල පරිශ්‍රයේදී ජනවාරි 12 වැනිදා පැවැත්වේ. එදින මනෝරත්න නිර්මාණ භාවිතාව විවරණයට ලක් කෙරෙන අතර ප්‍රවීණ ශිල්පීන් විසින් මනෝරත්න ගී සහ රැඟුම් ඉදිරිපත් කිරීමට නියමිතය. මෙහිදී ඉඳුරාගාරේ ධම්මරතන හිමි, බණ්ඩාර ඇහැලියගොඩ ආචාර්ය ඉන්දික ෆර්ඩිනෑන්ඩු දෙසුම් පවත්වති. මෙම ප්‍රසංගයේ සංගීතය මෙහෙයවනු ලබන්නේ සංගීතවේදී රංජිත් බාලසූරිය විසිනි. මේ අවස්ථාවේදී ජයලත් මනෝරත්න මහතා විසින් පරිහරණය කළ පොත් එක්දහස් පන්සියයකට අධික ප්‍රමාණයක් ජාතික පුස්තකාලය වෙත භාර දීමටද නියමිතව තිබේ.
විචිත්‍ර කලා කවයට නව නිලධාරී මඬුල්ලක්
මොරටුව විචිත්‍ර කලා කවයේ නව නිලධාරි මණ්ඩලය ඉකුත් දා තෝරා ගන්නා ලදී. ඒ අනුව ආර්. එම්. ලතීෆ් (සභාපති), එම්. යූ. වී. වීරසේකර (ලේකම්), නිරේෂ් ටී. කුලසූරිය(භාණ්ඩාගාරික) ඇතුළු පිරිස මෙහි වෙති.
‘හන්තානට සඳ’ රට වටා
ප්‍රවීණ ගායන ශිල්පී විශාරද අමරසිරි පීරිස්ගේ ඒක පුද්ගල ගී ප්‍රසංගය ‘හන්තානට සඳ’ මෙම ජනවාරි සිට රට වටා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. ලලිත කලා වාද්‍ය විශාරද මනෝජ් පීරිස් ප්රමුඛ ත්‍රී තාල් වාද්‍ය වෘන්දය ඊට සංගීතය සපයන අතර ප්‍රවීණ ගුවන් විදුලි හා රූපවාහිනි නිවේදක වසන්ත රෝහණ විසින් මෙහෙයවීම සූදානම් කර ඇත.
විලන් අද සිට තිරයට
ලස්සන ජයසේකර සංගීතවත් කර අධ්‍යක්ෂණය කළ කැලුම් ආර්යන් විසින් කතාව, දෙබස්, තිර රචනය කර නිෂ්පාදනය කළ ‘විලන්’ සිනමා පටය PVR සිනමා ශාලාවේදී මංගල දර්ශනය ඇරඹීමත් සමඟ දැන් දිවයින පුරා තිරගත වීම අරඹා ඇත. කැළුම් ආර්යන්, දසුනි සිනෙත්මා, සුධික්ෂා සමාධි, ෂෙරාන් පීරිස්, සංජු සමරසිංහ ඇතුළු නළු නිළියන් රැසක් මෙහි රංගනයෙන් එක්වෙති. කැමරාකරණය ගිහාන් විරාජ් නරසිංහ, වර්ණ සංයෝජනය සහ විශේෂ දෘශ්‍ය ප්‍රයෝග ආකේශ් සදමින්, ගී පද මැණික් ජයසිංහ, නර්තන වින්‍යාසය අසංග ඩී. සිල්වා, සටන් අධ්‍යක්ෂණය ටෙඩී විද්‍යාලංකාර හා කැලුම් ආර්යන් සංස්කරණය සහ ශබ්ද පරිපාලනය ලස්සන ජයසේකර, සහාය අධ්‍යක්ෂණය චම්න්ද හේවාවසම්, කලා අධ්‍යක්ෂණය හේෂා මින්රාදි, වේශ නිරුපණය ආසිරි චතුරංග, නිෂ්පාදන කළමනාකරු ජැකි අපොන්සු විසිනි.
පැන්ඩෝරා අද
මිහිර සිරිතිලකගේ නවතම නාට්‍ය නිර්මාණයක් වන පැන්ඩෝරා වේදිකා නාට්‍ය ජනවාරි මස 5 වන සිකුරාදා (අද) දින දර්ශන වාර දෙකක් සමඟින් සවස 3.30 සහ 6.30ට මාතලේ හෝටල් පාසල් ශ්‍රවණාගාරයේ දී වේදිකාගත වේ. ශ්‍රී ලංකාවේ දක්ෂතම සහ ජනප්‍රියම රංගන ශිල්පීන් තුන්පළක් වන මිහිර සිරිතිලක, සරත් කොතලාවල සහ චින්තක පීරිස් මෙහි රංගනයෙන් දායක වෙති.