Home » උතුරේ අවතැන් වූවන් යළි පදිංචි කිරීම 2025 වන විට අවසන් කරනවා

උතුරේ අවතැන් වූවන් යළි පදිංචි කිරීම 2025 වන විට අවසන් කරනවා

මෙරට ආයෝජනයට එතෙර ඩයස්පෝරාවට ආරාධනා

by mahesh
January 5, 2024 1:00 am 0 comment

අවතැන්වූ ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු සියල්ල 2025 වන විට අවසන් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උතුරු පළාත් රාජ්‍ය නිලධාරීන්ට ඊයේ (04) උපදෙස් දුන්නේය.

කිසිදු අවතැන් පුද්ගලයකු ඒ වන විට ශ්‍රී ලංකාව තුළ සිටිය නොහැකි බවත් ඔවුන්ට අවශ්‍ය පහසුකම් දී ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීමට කඩිනමින් කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා නිලධාරීන්ට වැඩිදුරටත් දැනුම් දුන්නේය.

සියලු ජනතාවට ආර්ථික අපහසුතා තිබෙන බව තමන් හොඳින් දන්නා බව කී ජනාධිපතිවරයා මෙවර තෛපොංගල් සැමරුමෙන් පසුව රාජ්‍ය සේවකයන්ට යම් ආර්ථික සහනයක් ලැබෙනු ඇති බවත් පැවසීය.

රටේ ආර්ථිකය ස්ථාවර කිරීමත් සමඟ සියලු ජනතාවට ආර්ථික සහන ලබාදීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. එමෙන්ම පසුගිය වසරේ සිදු කළ ආර්ථික ප්‍රතිසංස්කරණය නිසා ගෙවීමට තිබූ සියලු බිල්පත් මේ වන විට ගෙවා අවසන් කර ඇති බවත් ඉදිරි කාර්තු හතර තුළ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. එසේම මෙම වසර අවසන් වන විට ආර්ථික වර්ධන වේගය 3%ක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන අතර 2025දී එය 5%ක් දක්වා වර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව ද ජනාධිපතිවරයා අනාවරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (04) පැවති යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික්කයන්හි විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි.

යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15ම ආවරණය වන පරිදි ලියාපදිංචි කර ඇති අතුරුදන් වූවන්ගේ සංඛ්‍යාව 1788කි. ඊට අදාළ පැමිණිලි 1289කට සම්මුඛ පරීක්ෂණ පවත්වා තිබේ. ඉතිරිව පවතින 500ක පමණ පැමිණිලි සංඛ්‍යාව කඩිනමින් විභාග කරන ලෙස මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා ඉදිරි මාස හය ඇතුළත එම කාර්ය අවසන් කිරීම සඳහා අතුරුදන් වූවන්ගේ කාර්යාලය සමඟ සම්බන්ධ වී කටයුතු කරන ලෙස ද උපදෙස් දුන්නේය.

මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, ධර්මලිංගම් සිද්ධාර්න්, අංගජන් රාමනාදන්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, උතුරු පළාත් ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් එම්. ඉලංගෝවන්, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය, ප්‍රජා කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් රජිත් කීර්ති තෙන්නකෝන්, යාපනය දිස්ත්‍රික් ලේකම් අම්බලවාණන් ශිව පාදසුන්දරන්, කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් පති රූපාවතී කේතීශ්වරන් යන මහත්ම මහත්මීන් සහ උතුරු පළාත නියෝජනය කරන මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීහු මීට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT