Home » අධ්‍යාපනය සම්බන්ධ තීන්දු තීරණ කල් දැමීමට කිසිදු හැකියාවක් නෑ

අධ්‍යාපනය සම්බන්ධ තීන්දු තීරණ කල් දැමීමට කිසිදු හැකියාවක් නෑ

by chanaka
January 4, 2024 4:58 pm 0 comment

කවර බාධක පැමිණිය ද ‍අධ්‍යාපන පද්ධතිය තුළ වැඩ කල් දැමීමට කිසිදු හැකියාවක් නොමැති බව ද විෂය භාර අමාත්‍යවරයා වශයෙන් ගනු ලබන ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ක්‍රියාවට නැංවීම වෙනුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලු‍ අංශ සමග මනා සම්බන්ධිකරණයක් පවත්වාගනිමින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වන බව ද අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

2024 වර්ෂය තුළ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නැංවීමට යෝජිත වැඩසටහන්, ඉදිරි ප්‍රතිපත්තිමය තීන්දු තීරණ, සැලසුම් සහ සංවර්ධන ක්‍රියාමාර්ග සම්බන්ධව සියලු‍ අංශ ප්‍රධානීන් සමග කරුණු සාකච්ඡා කිරීමේ විශේෂ හමුවක් අද (04) අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහි දී අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ය.

පරිපාලන ක්ෂේත්‍රයේ අත්දැකීම් රැසක් ඇති වසන්තා පීරිස් මහත්මිය අධ්‍යාපන අමාත්‍යාංශයේ අභිනව ලේකම් ධූරයට පත්ව සිටීම සතුටට කරුණක් බව ද පෙන්වා දෙමින් ඇයට සිය සුබ පැතුම් එක් කළ අමාත්‍යවරයා, පසුගිය කාලවකවානුව තුළ අභියෝග රැසකට මුහුණ දෙන අතරතුර අධ්‍යාපන ක්ෂේත්‍රයේ තීන්දු තීරණ ගැනීමට සිදු වූ බව ද, අවධාරණය කළේය.

2024-02-02 සිට 2024-02-16 දක්වා එළඹෙන සති දෙකක කාල පරිච්ඡේදය තුළ සෑම පාසලක ම දෙමව්පියන් සමග පන්ති කව පැවැත්වීම සම්බන්ධව නව චක්‍රලේඛ නිකුත් කිරීම, ගුරු සංවර්ධන වැඩසටහන් සහ සෙසු මානව සම්පත් සංවර්ධන සැලැස්ම සම්පාදනය, පූර්ව ළමා අවධි සංවර්ධිත වැඩසටහන සඳහා පළාත්, කලාප, කොට්ඨාස පදනමින් පුහුණුකරුවන් පුහුණු කිරීම, ප්‍රාථමික ශේණි සඳහා කථන ඉංග්‍රීසි වැඩසටහන ආරම්භ කිරීම, උසස් පෙළ ගුරුවරුන් සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමඟ අධ්‍යාපන සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, උසස් පෙළ හා සාමාන්‍ය පෙළ පසු මාර්ගෝපදේශ වැඩසටහන් සම්පාදනය, නව පාරිසරික සම්පත් මධ්‍යස්ථාන 17ක් ආරම්භ කිරීම ඇතුළු ප්‍රධාන විෂය ක්ෂේත්‍ර 26 ක් සම්බන්ධ කරුණු මෙහි දී සාකච්ඡාවට ලක් විය. ඒ ඒ අංශ ප්‍රධානීන් විසින් මෙම වැඩසටහන් හා ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග සම්බන්ධව දැනට ගෙන ඇති පියවර හා ප්‍රගතිය ද මෙහි දී ඉදිරිපත් කරන ලදී.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතා, අධ්‍යාපන ලේකම් වසන්තා පෙරේරා මහත්මිය, අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක මහාචාර්ය ගුණපාල නානායක්කාර මහතා ඇතුළු අමාත්‍යාංශයේ අතිරේකම්වරුන්, විෂය භාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, මාණ්ඩලික ප්‍රධානීන් මෙන්ම ජාතික අධ්‍යාපන කොමිසම, ජාතික අධ්‍යාපන ආයතනය, විභාග දෙපාර්තමේන්තුව, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් අනෙකුත් ආයතන නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT