Home » යට ඇඳුමේ සැඟවූ කෝටි 17ක රන් බිස්කට් ජාවාරම කොටු වෙයි

යට ඇඳුමේ සැඟවූ කෝටි 17ක රන් බිස්කට් ජාවාරම කොටු වෙයි

by yasara
December 31, 2023 8:49 am 0 comment

රුපියල් දහ හත් කෝටි හැට ලක්ෂයක් ( මිලියන 176 ක් ) වටිනා කිලෝ ග්‍රෑම් 07 යි ග්‍රෑම් 700 ක් බරැති  රත්තරන් බිස්කට් 66 ක් සිය යට ඇදුමේ සගවා ගෙන , කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ කාර්යය මණ්ඩල පිටව යන දොරටුවෙන් පිටව යමින් සිටි ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ සේවකයෙකු  ඊයේ (30) පස්වරු 04.30 ට පමණ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

 

ශ්‍රී ලන්කන් කේටරින් සමාගමේ වසර 15 ක සේවා කාළයක් සපුරා ඇති මොහු  කැළණිය , කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි .

මොහු මෙම රන් බිස්කට් තොගය සිය යට ඇදුමේ , විශේෂ රදවනයක ආධාරයෙන් පාර්සල් දෙකක් ලෙස සකස් කර සගවා ගෙන තිබුණි .

මොහුට මෙම රත්තරන් තොගය කටුනායක ගුවන් තොටුපොළ සංක්‍රමණික මගී පර්යන්තයේ ආපනශාලාවක් තුළ දී කිසියම් පුද්ගලයෙකු විසින් ලබා දී ඇති බව රේගු මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ .

මෙම රන් බිස්කට් යට ඇදුම් තුළ සූක්ෂම ලෙස රදවා ගෙන යාමට භාවිතා කරන විශේෂ ඉන වටා පළදින තවත්  පටියක් මොහුගේ සේවා ස්ථානයේ මොහුට අයත් කබඩ් එකක් තුළ සගවා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන  අත් අඩංගුවට ගෙන තිබේ .

මෙම රන් බිස්කට් එකක් ග්‍රෑම් 116.62 ක් බරැති ( Ten Tolas ) වර්ගයේ  වූ අතර මෙම අවස්ථාව නිරීක්ෂණය කිරීම සදහා අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්  ( බලාත්මක ) පීටර් ගුණවර්ධන , ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ ( සමාජ ආරක්ෂණ ) ඊ.ජී. ඇන්ටන් සහ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ එස්.ජී.ඒ. කුමාරසිංහ යන මහත්වරුන් ද කටුනායක ගුවන් තොටුපොළ රේගු පරිශ්‍රය වෙත පැමිණ සිටියහ .

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මෙම පුද්ගලයා අත් අඩංගුවට ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ .

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT