Monday, April 21, 2025
Home » එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකික සිරකරුවන්ට රාජකීය නියෝගයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකික සිරකරුවන්ට රාජකීය නියෝගයක්

by chanaka
December 31, 2023 9:58 am 0 comment

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විවිධ බන්ධනාගාරවල සිටි ශ්‍රී ලාංකිකයන් හතළිස් හතර දෙනෙකුට රාජකීය නියෝගයකින් සමාව හිමිව තිබේ.

දෙසැම්බර් 02 වැනිදාට යෙදී තිබූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 52 වැනි ජාතික දිනය නිමිත්තෙන් මෙම ශ්‍රී ලාංකික සිරකරුවන්ට රාජකීය නියෝගයෙන් සමාව ලැබුණු බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත නිල වශයෙන් දැනුම් දී ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා COP 28 සමුළුවට සහභාගි වීම සඳහා පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට කළ චාරිකාව සහ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පවතින ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා පසුබිම් කර ගනිමින් ශ්‍රී ලාංකික සිරකරුවන්ට සමාව ලබාදී තිබේ. ශ්‍රී ලාංකික රැඳවියන්ට සමාව දීම මෙම මිත්‍ර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

රාජකීය සමාව ලැබූ මෙම ශ්‍රී ලාංකිකයන් හතළිස් හතර දෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍ය රජය විසින් ඉදිරියේදී ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නියමිතය. අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඔවුන් ආරක්ෂිතව ආපසු ගෙන්වා ගැනීම සහතික කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලධාරීන් සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් සම්බන්ධීකරණය කරනු ලැබේ.

අබුඩාබියේ ශ්‍රී ලංකා තානාපති උදය ඉන්ද්‍රරත්න මහතා, මෙම ශ්‍රී ලාංකිකයින්ට සමාව දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජයට සහ එහි විදේශ කටයුතු සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශවලට සිය ප්‍රශංසාව පිරිනමා තිබේ.

මේ සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නායකත්වය දක්වන සංවේදනය සහ ත්‍යාගශීලීභාවය ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය අගය කර සිටියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT