මාරි ඇන්ටොනෙට් රැජන යනු එළියේ උන් දහ දුක් විඳිද්දී සාටෝප රාජකීය ජීවන විලාශයක් පවත්වාගෙන ගිය චරිතයකි. ශ්‍රී ලංකාවේ හැම ආර්ථික අර්බුදයකදීම ‘පාන් නැත්නම් කේක් කාපල්ලා’ කියා උපුටා දක්වන්නේ මේ රැජන සිදු කළා යැයි කියන ප්‍රකාශයය. මිනිස්සුන්ට දෙස් දෙවොල් තියා ආතල් ගන්නා ගැන්සියක් හැම සමාජයකම ‘සියයට තුනක් පමණ’ සිටිති. කොහේ හෝ යන කතාවක් රවුම් කර, දුටහට හරවා කලබගෑනියක් ඇති කිරීම, මේ අයගේ ආතල් එකය. එක්කෝ අනුන්ගේ වැටුපට එබී බලා ඒවායේ ගණන් වටේ කිය කියා යති. ගැහැනියක් මිනිහෙක් සමඟ කතා කර කර සිටියහොත් ‘මේ රෙජිස්ටාර්ලා’ ඒ දෙදෙනා ඇඳකට දමා හාන්සි කරවති. ඔය ජාතියේ අය හැම ක්ෂේත්‍රයකමැ සිටින බැවින් යමක් සිදු කරන්නේ නම් කල්පනාවෙන්ම කළ යුතුය.
එහෙම අයගේ නොම්බරය දන්නේ මුත්, ඒ අයගේ කතා සඳහා වශීකෘත වන සමාජයක් අප අවට ඇත්තේය. මාරි ඇන්ටොනෙට්ගේ කතාවේ නිෂ්පාදකයා රූසෝය. ප්‍රංශ විප්ලවයේ දේශපාලන අත්වැල වූ දාර්ශනික ජින්-ජැක් රූසෝ, ස්වයං චරිතාපදාන පොතේ පාපොච්චාරණය පරිච්ඡේදයේ , “ගොවීන්ට පාන් නැති බව පැවසූ විට, ‘එසේ නම් ඔවුන්ට බ්‍රියෝචි කන්න දෙන්න’ කියා උත්තර දුන් කුමරියක් ගැන ලියන්නේය. ‘පාන් නැත්නම් කේක් කාපන්’ යන තගරි කතාව දක්වා සිංහලට පරිවර්තනය වන්නේ මේ වාක්‍යයය.
රූසෝ මේ පොත ලියන්නේ 1765 දී පමණය. ඒ කාලයේ මාරි ඇන්ටොනෙට්ගේ වයස අවුරුදු 10කි. ප්‍රංශයේ නොව පාසලේ නාට්‍යවල නම් ඇය මේ සමයේ රැජනට හැඳ රඟපාන්නට ඇත. සමහරු කියන්නේ මේ සඳහන රූසෝ ලියන්නේ XIV වන ලුවීගේ බිරිය, මාරියා තෙරේසා රැජන පිළිබඳ බවය.
දේශපාලන පහසුව සඳහා ඔහොම කාරණා ‘අතේ රෝල්’ කරනා පිරිසක් මේ කතාව ඉහළට නැංවූ බව දැන් පිළිගැනීමය. විප්ලවවාදීන්ට අවශ්‍ය වූයේ රාජාණ්ඩුව අහෝසි කිරීමටය. පාලකයාගේ නූගත් බව, ජනතාව කෙරෙහි අසංවේදීභාවය, ජනතා විරෝධය යනාදී ‘නිර්දය පින්තාරු’ ඒ උදෙසා ඔවුන් ගොනු කරන්නේය.
දැන් ලංකාවේ කේක් වෙළඳාම පහළ බැහැලාය. මෙවර උත්සව සමයේදී බේකරි කර්මාන්තය විශාල කඩා වැටීමකට ලක්ව ඇති බවත් නත්තල් උත්සවයේදී කේක් අලෙවිය සියයට 75කින් පමණ අඩු වී ඇති බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මාධ්‍යයට කියා තිබුණි.
කේක් කෑම වනාහි අත්‍යවශ්‍ය දෙයක් නොවේ. දැන් සෝබන වැඩ සඳහා ගෙදර බජට් එකේ ඉඩ අවමය. වේල පිරිමසා ගැනීම ද ගේමක් වූ කලී, ඔය වගේ සැනසිලි අංග අපෙන් ඈත් වී යන්නේය. දැන් දරුවෝ සිටින්නේ ගෙදරය. නිවාඩු කාලය දුවා පුතාට ලැබුණා කියන්නේ අම්මා තාත්තාගේ නිවාඩුව අවසන්ය. ඔය වයසේ දරුවෝ නිතර කෑමට ප්‍රියයෝය. රිස්ස ඇත්තෙම අනං මනං කෑමටය. බැරි මරගාතේ හෝ ගෙදරට යමක් අරගෙන ගියෝතින් වරුවෙන් ඒවා ඉවරය. බඩු ඇත්තේ ෆ්‍රිජ් එකේ නම් නිතරම එහි දොර ඇරේ; වැසේ. එහෙම පොඩි සෙට් ඉන්නා ගේකට වුවද අද කේක් එකක් ගෙන යනවා කියන්නේ මාසයේ තව වේලක් දෙකක් මිස් වෙනවා කියන එකය. ඉස්සර ගෙදරකට යන්නේ කේක් එකක් අරගෙන වුවත්, එහෙම නාස්තිකාර දේ වෙනුවට දැන් මිනිස්සු අරගෙන යන්නේ හාල් කිලෝ පහක් වැනි, ඒ ගෙදරට ද ශක්තියක් විය හැකි යමකි.
කොවිඩ් කාලයෙන් පසුව බිස්කට්, කේක් ආදිය අම්මාමෝ නැතිව ගණන් වැඩි කළේය. බඩුවේ දාන ඕනෑ මිලක් ගෙවා, ඒවා ගත යුතු යැයි සමහර නිෂ්පාදක සෙට් හිතන්නෝය. තනි තනියෙන් අප කට්ට කාගෙන ඒවා ගත්ත ද, මිනිසුන් එක්ව සිතා තීරණ ගත් කල ‘මිල වැඩි කළ උන්ගේ’ ගෙදර දුම් මැස්සේ ‘බඩු’ තබා ගත හැකිය. කේක් සහ බිස්කට් වේළා උම්බලකඩ වැනි යමක් සාදා ගැනීමට හැකිවූවා නම් මේ කාලයේ ඒවා වෙළඳාම් කිරීම සඳහා, කේක් – බිස්කට්කාරයන්ට ගෙවල් ගානේ යා හැකිව තිබුණි. ඔහොම ළඟ නවා සිතන්නට යෑමෙන් වෙන්නේ මිනිස්සුන්ගේ පුරුද්ද කැඩී යෑමය. එයට විරෝධය ද එක්වූ කල්හි ආයෙත් මාර්කට් එක අල්ලනවා කියන්නේ සෙල්ලම් නැත. වෙනදා අවුරුදු කාලයට පෝලිම් තුනක් තිබුණේය. එකක් රෙදි කඩේය. අරක්කු හැළියක බස්සවා සිටිය ද බේබද්දාගේ තිබහ නිවෙන්නේ නැති නිසා, බාර් එකට ද පෝලිමක් තිබුණේය. අනික කේක් කඩේය. දැන් අරක්කු සහ කේක් යන දෙකටම පෝලිම් නැත. අතට අමාරු කාලයේ සමහරුන්ට ප්‍රඥාව පෑදෙන්නේය. ඒ අනුව දැන් අනුන්ගෙන් බොනවා මිසක අතින් වියදම් කරන්නට බොහෝදෙනා යන්නේ නැත. කේක් පෝලිම නැති කර ගත්තේ නිෂ්පාදකයාමය. දැන් 75%කින් අලෙවිය අඩු වෙන තැනට ‘වැඩේ පත්තු වුණේ’ ආර්ථික අර්බුදය නිසාම නොවේ. අමාරු වෙලාවේ ගසාගෙන කෑමට යෑමේ ප්‍රතිඵලය නිසාය. තමන්ගේ ලාභ තීරුව අඩු කරගෙන හෝ එදා කට්ට කෑවේ නම් මිනිස්සු කොහොම හරි කේක්, බිස්කට් කනවා ඇත.
තම යටත්වැසියන් පාන් හිඟයෙන් බඩගින්නේ සිටින බව පැවසූ විට, මාරි ඇන්ටොනෙට් එහෙම පිළිතුරක් දුන්නේ නැති බව, දැන් සනාථ හෙයින් ‘ඉතිහාසය ඇය නිදොස් කර තිබේ’. එහෙම වුණාට මෙහෙ තවමත් කතා පැළ කිරීම, සරුවට සිද්ධ වන හෙයින් අප අසන දකින දේ ගැන ‘පාන් නැත්නම් කේක් කාපල්ලා’ යන කතාව මතකයේ තබා ගෙන ‘සිහියෙන්’ සිටිනා ලෙස මතක් කරමු.