Home » අගමැතිගෙන් නව ඉන්දීය මහ කොමසාරිස්වරයාට සුබ පැතුම්

අගමැතිගෙන් නව ඉන්දීය මහ කොමසාරිස්වරයාට සුබ පැතුම්

by yasara
December 29, 2023 3:55 pm 0 comment

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ නව ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් අද (29) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

මෙහිදී දෙරට අතර ආර්ථික සබඳතා සහ සහයෝගීතාව පිළිබඳ සවිස්තරාත්මක සාකච්ඡාවක් පැවැති අතර යෝජිත ඒකාබද්ධ ව්‍යාපෘති කඩිනම් කිරීමේ ක්‍රම සහ විධි විමසා බැලූහ.

සූර්ය බලශක්තිය සහ සුළං බලය ඇතුළු බලශක්ති ක්ෂේත්‍රයේ ඉන්දීය ආයෝජන වැඩි කිරීමට ඇති හැකියාව, ත්‍රිකුණාමලයේ තෙල් ගබඩා ටැංකි, වරාය, දුම්රිය මාර්ග සම්බන්ධ ඒකාබද්ධ ව්‍යාපෘති සහ කෘෂිකාර්මික හා ධීවර අංශයන්හි සංවර්ධනය සඳහා ආධාර කිරීමේ හැකියාව පිළිබඳව මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කෙරිණි.

වත්මන් ආර්ථික අර්බුදයට මුහුණදීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පහසුකම් පුළුල් කරමින් සහ සහන ද්‍රව්‍ය, ආහාර සහ ඖෂධ ලබාදෙමින් ශ්‍රී ලංකාවට ලබාදුන් සහය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී ඉන්දියාවට ස්තූතිය පළ කළේය. ද්‍රවශීලතා ගැටළු විසඳීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැකේජය ලබාගැනීමට දුන් සහයෝගය පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවට ස්තූතිය පළ කළේය.

නව මහ කොමසාරිස් සන්තෝෂ් ජා 2007 සිට 2010 දක්වා ශ්‍රී ලංකාවේ සේවය කළ කාලය සිහිපත් කරමින් සඳහන් කළේ ද්විපාර්ශ්වික මිත්‍රත්වය සහ සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා නැවත වරක් කොළඹට පැමිණීමට ලැබීම තමාට ලැබුණු විශාල වරප්‍රසාදයක් ලෙස සලකන බවයි.  තම මෙහෙවර  ලාංකීය ජනතාව සමඟ ශ්‍රී ලංකාවේ යහපත උදෙසා මෙරට නායකයන්ගේ මගපෙන්වීම අනුව කටයුතු කිරීම බවත් දෙරටේ නායකයින් ඇතිකර ගත් එකඟත්වයට අනුව ඉන්දු-ශ්‍රී ලංකා සහයෝගය පිළිබඳ දැක්ම සහ එය ක්‍රියාත්මක කිරීමට එකඟ වූ දාහතර වැදෑරැම් වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම බවත් ඉන්දීය මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන්  කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, ඉන්දීය නියෝජ්‍ය  මහ කොමසාරිස් සත්‍යාංජල් පාණ්ඩේ සහ උපදේශක එල්ඩෝස් මැතිව්ස් යන අය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT