Home » රන් දියණිය තරුෂිගේ ආබාධය සුව කරන්න

රන් දියණිය තරුෂිගේ ආබාධය සුව කරන්න

ඩබ්ලිං හෝ ලන්ඩන් යැවීමට නිර්දේශයක්

by gayan
December 28, 2023 1:00 am 0 comment

උසස් පෙළින් පසු ක්‍රියා මාර්ග ගන්නා ලෙස ඇමැතිගෙන් උපදෙස්

ආසියානු ක්‍රීඩා උලෙළේ රන් පදක්කම් දිනූ තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාවගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අයර්ලන්තයේ ඩබ්ලිං නුවරට හෝ එංගලන්තයේ ලන්ඩන් නුවරට යැවීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ අවසරය හිමි වෙයි. පසුගියදා පැවති ජාතික ක්‍රීඩා සභාවේදී තරුෂිට පවතින ආබාධය සුව කිරීම උදෙසා මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් වෛද්‍ය අනු කමිටුවක් පත් කරන ලද අතර, එහි තීරණය අනුව වඩාත්ම සුදුසු රෝහල ඉදිරියේදී තෝරාගැනේ.

මෙයට සති කිහිපයකට පෙර ක්‍රීඩා වෛද්‍ය ආයතනය කළ ඉල්ලීම ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ජාතික ක්‍රීඩා සභාවට යොමු කළ අතර, එහිදී අයර්ලන්තයේ ඩබ්ලිං නුවරට හෝ එංගලන්තයේ ලන්ඩන් නුවරට යැවීම වෛද්‍ය අනු කමිටු තීරණය අනුව සිදු කිරීමට නිර්දේශය ලබාදී තිබේ.

තරුෂි කරුණාරත්න ලබන ජනවාරි 4 වැනිදා ආරම්භ වන අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින හෙයින් එම අධ්‍යයන කටයුතු නිමවූ වහාම ආබාධය සුව කිරීම උදෙසා ගත යුතු ඉක්මන් ක්‍රියා මාර්ග ගන්නා ලෙස ක්‍රීඩා ඇමැතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

මෙයට පෙර තරුෂි කරුණාරත්න අයර්ලන්තයට යැවිය යුතු බවට ක්‍රීඩා වෛද්‍ය ආයතනය ඉල්ලීමක් කළ අතර, එම රැස්වීමට ජාතික ඔලිම්පික් කමිටුව, ජාතික තේරීම් කමිටුව, ජාතික ක්‍රීඩා සභාව සහ ක්‍රීඩා වෛද්‍ය ආයතන‌යේ නියෝජිතයෝ එක්ව සිටියහ. එහිදී ක්‍රීඩා වෛද්‍ය ආයතනය ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් අවසර ඉල්ලා ඇත්තේ තරුෂි කරුණාරත්නගේ වෛද්‍ය වියදම් සහ අයර්ලන්තයේදී යන අනෙකුත් වියදම් සඳහා අවශ්‍ය මුදල් නිදහස් කරන ලෙස ය.

තරුෂි, ඇයගේ සොහොයුරා සහ වෛද්‍යවරයකු සමඟ අයර්ලන්තයට යාමට සූදානම්ව සිටි බව එහිදී ප්‍රකාශ විය. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය හෝ ජාතික ඔලිම්පික් කමිටුව කරුණු නොදන්නා බව පැවසීමත් සමඟ අවශ්‍ය තීරණ ගැනීමට ජාතික ක්‍රීඩා සභාවට යොමු කෙරිණි. එමෙන්ම විශේෂ වෛද්‍ය අනු කමිටුවක් පත්කොට අවශ්‍ය නිර්දේශ ලබා ගැනීමට ද නියෝග කළේය.

මෙයට මාස කිහිපයකට පෙර චීනයේ හැන්ග්ෂූහි පැවති ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා මීටර් 800 ඉසව්වේ රන් පදක්කම දිනා තරුෂි කරුණාරත්න ශ්‍රී ලංකාවට කීර්තිය අත්කර දුන්නාය. එම ඉසව්වේ රිදී පදක්කම ඉන්දියාවට ද ලෝකඩ පදක්කම චීනයට ද හිමිවිය.

වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන 19 හැවිරිදි තරුෂි ආසියාවේ ප්‍රබල ක්‍රීඩිකාවන් පසුකොට මිනිත්තු 2:03.20කින් තරගය නිමා කිරීමට සමත් වූ අතර, එම පදක්කම වසර 21කට පසු ආසියානු ක්‍රීඩා උලෙළකදී ශ්‍රී ලංකාවට හිමිවූ රන් පදක්කම බැවින් වැඩි දෙනකුගේ අවධානයට ලක් වූවාය.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT