Monday, April 21, 2025
Home » බීජ අර්තාපල්වල දිලීර වර්ධනය වීම ගැන වාර්තාවක්

බීජ අර්තාපල්වල දිලීර වර්ධනය වීම ගැන වාර්තාවක්

by chanaka
December 28, 2023 12:38 pm 0 comment

යාපනයේ කුප්පවේලි ප්‍රදේශයේ ගබඩා කර තිබූ බීජ අර්තාපල් මෙට්‍රික් ටොන් 21ක් භාවිතයට ගත නොහැකි වන අයුරින් දිලීර වර්ධනය වී තිබීම සම්බන්ධව තමන්ට වහාම වාර්තාවක් ලබා දෙන කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරියට උපදෙස් දෙනු ලැබීය.

ඒ අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ යාපනය දිස්ත්‍රික්ක කාර්යාලය මගින් ඒ සම්බන්ධව විමර්ශණයක් සිදු කර ඇති අතර එම වාර්තාව අද(28) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ලබා දී ඇත.

එහි දැක්වෙන පරිදි තිරුනෙල්වේලි හි කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විසින්ද මේ සම්බන්ධව විමර්ශනයක් කරන ලෙස ඉල්ලීමක් කර තිබේ.

මෙම බීජ අර්තාපල් තොගය ඔස්ට්‍රේලියාවේ සිට ආනයනය කරන ලද තොගයක් වන අතර ඒවා ගොවින්ට බෙදා දීම සඳහා යාපනයේ කුප්පිවේලි ප්‍රදේශයේ ගබඩා කර ඇත.

කෙසේ වුවද නිසි පරිදි ගබඩා කර නොතිබීම නිසා දිලීර විශේෂයක් හා බැක්ටීරියා විශේෂයක් මේ වනවිට එම අර්තාපල් තොගයෙන් සියයට 40ක පමණ වැළඳී ඇති බව සිදු කරන ලද විමර්ශන අනුව පෙනී ගොස් ඇත.

විශේෂයෙන් මෙම බීජ අර්තාපල් බහුතරයක් හොඳටම කුණු වී ඇති බවත් ඒ ආශ්‍රිතව Geotrichum Spp නැමැති දිලීරයත් Pectobacterium Carotovorum නැමැති බැක්ටීරියාවත් එම බීජ අර්තාපල්වලට වැලදී ඇති බව සිදු කරන ලද pathogenic විමර්ශණවල දී අනාවරණය වී ඇත.

පරිසර දූෂණය වැලැක්වීම සඳහා බලයලත් ශාක නිරෝධායන නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නරක් වූ බීජ අල අල වහාම බැහැර කිරීමට උපදෙස් දී ඇත. . සම්පූර්ණ පරීක්‍ෂාවෙන් පසු ජාතික පැළෑටි නිරෝධායන නිර්දේශ මත පදනම්ව ක්ෂේත්‍ර රෝපණ සඳහා ආසාදිත නොවන බීජ අල මුදා හැරීම සලකා බැලිය හැක. ඒ සඳහා නිර්දේශය කරන්නේ නම් ක්ෂේත්‍ර රෝපණ සඳහා ආසාදිත නොවන අල ගොවීන්ට බෙදා හැරීමට සිදු කරනු ලබන අතර, Tiophannate- Methyl 50%, හා Thiram වැනි හෝ සුදුසු දිලීර නාශකයක් සිටුවීමට පෙර යෙදීම නිර්දේශ කළ යුතුය.

මේ අතර මෙම බීජ අර්තාපල් නිසි ලෙස ගබඩා කිරීම සඳහා පියවර නොගැනීම මෙන්ම ඒවා විනාශ වීම මගින් රජයට සිදු කළ පාඩුව සැළකිල්ලට ගෙන අදාල වගකිවයුතු නිලධාරින්ගෙන් කරුණු විමසන ලෙසත්, ඊට අදාලව ඉහළම පියවර ගන්නා ලෙසත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතාට උපදෙස් දුන්නේය.

 

 

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT