Saturday, April 19, 2025
Home » විදුලිය බිඳවැටීම ගැන විමර්ශන සිදු කරන්නේ මෙලෙසයි

විදුලිය බිඳවැටීම ගැන විමර්ශන සිදු කරන්නේ මෙලෙසයි

by chanaka
December 28, 2023 12:53 pm 0 comment

දිවයින පුරා දෙසැම්බර් මස 09වැනිදා විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට මේ වන විට කමිටු දෙකක් පත් කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කරයි.

ඒ අනුව ලංවිම අතිරේක සාමාන්‍යාධිකාරිවරයෙකුගේ සභාපතිත්වයෙන් අභ්‍යන්තර විමර්ශන කමිටුව පත් කර ඇත. එහිදී එම කමිටුව විසින් ඉහත සඳහන් විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් හේතුවූ මූලික කරුණු අධ්‍යයනය කිරීම, මෙම සිදුවීමට අදාළව නිලධාරී සහ සේවක මණ්ඩලයේ ක්‍රියාපටිපාටිය අධ්‍යයනය කිරීම හා ඉදිරියේදී මෙවැනි සිදුවීම් සිදුනොවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග හා නිර්දේශයන් ඉදිරිපත් කිරීම යන කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමට නියමිතය.

මීට අමතරව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් ද බාහිර විමර්ශන කමිටුවක් පත් කර තිබේ.

එම කමිටුව සඳහා ශ්‍රි ලංකාවේ විශ්ව විද්‍යාලයන්හි ආචාර්යවරුන්ගෙන් හා මහාචාර්යවරුන්ගෙන් සමන්විත විද්වත් මණ්ඩලයක් පත්කර ඇත. අදාල කමිටුව විසින් ඉහත සඳහන් විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් පහත කරුණු කෙරෙහි අවධානය යොමුකර ඇත.

· සිදුවීමෙහි මූලාරම්භය හඳුනාගැනීම සහ තාක්ෂණික විමර්ශන කටයුතු සිදුකිරීම.

· නැවත විදුලිය ලබාදීමට ගතවූ කාලය පිළිබඳව සමාලෝචනය කිරීම.

· ඉදිරියේදී මෙවැනි සිදුවීම් සිදුනොවීමට හෝ අවම කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග හා නිර්දේශයන් ඉදිරිපත් කිරීම.

මෙම විමර්ශන කටයුතු අවසානයේදී අදාල කමිටුවලින් ලබාදෙනු ලබන තීරණ පිළිබඳව ඉදිරියේදී ජනතාව දැනුවත් කිරීමට සූදානම් බව ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා සදහන් කරයි.

“දිවයින පුරා විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය වරද පිළිගනී” යන සිරස්තලයෙන් යුක්තව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් සිදුකළායැයි ඇතැම් මාධ්‍යවල සඳහන් වන ප්‍රකාශය සාවද්‍යවන අතර ලංවිම විසින් එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවද සදහන් කෙරේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT