ඩුබායිහි රැඳී සිටින පාතාලයේ අපරාධකරුවකු වන සුපුන් දයාරත්න නොහොත් හීනටියන මහේෂ්ගේ කොන්ත්‍රාත්තුවකට අනුව ව්‍යාපාරිකයන් දෙදෙනකු ඝාතනය කිරීමට සූදානමින් සිටි බව කියන ඔහුගේ ගෝලයකු කටුනායක පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබිණ.
මිනුවන්ගොඩ කලහුගොඩ පදිංචිකරුවකු වන ක්රිෂ්මන්ත සිල්වා නමැති 27 හැවිරිදි එම සැකකරු පසුගියදා (21) පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් මිලිග්‍රෑම් 6010ක් සමඟිනි. රැඳවුම් නියෝග මත ඔහුව රඳවාගෙන කළ ප්‍රශ්න කිරීමේදී මෙම පුද්ගලයා හීනටියන මහේෂ්ගේ සමීපතමයකු බව අනාවරණය වී ඇත. වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී ඔහුගේ නිවෙසේ සඟවා තිබී රිවෝල්වරයක් සහ පතරොම් 07ක් පෙරේදා (26) හමුවී ඇත. අධික ලෙස මත්කුඩු භාවිතයට ඇබ්බැහි වී සිටින මෙම පුද්ගලයා පවසා ඇත්තේ මෙම ගිනි අවිය තමාට ලබාදුන්නේ හීනටියන මහේෂ් නමැති අය බවය.
හීනටියන මහේෂ් නමැත්තා කටුනායක, මිනුවන්ගොඩ ඇතුළු ප්‍රදේශ රැසක ව්‍යාපාරිකයන්ට ඩුබායි සිට දුරකතන ඇමතුම් දෙමින් කප්පම් ඉල්ලා තර්ජනය කරන බවත් ඔහුට බියෙන් ඇතැම් ව්‍යාපාරිකයන් කප්පම් දී ඇති බවත් පොලිසිය කියයි. රුපියල් ලක්ෂ 10 සිට කෝටි දෙක දක්වා ඔහු කප්පම් ගන්නා බවත් කප්පම් නොගෙවන ව්‍යාපාරිකයන්ට ඔහු සිය ගෝලයන් යොදවා ගිනි අවි පෙන්වා තර්ජනය කරන බවටත් තොරතුරු පොලිසියට ලැබී ඇත.
කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ ඇති ව්‍යාපාරික ආයතනවලින් ඉවත ලන රෙදි කැබලි ඇතුළු අබලි ද්‍රව්‍ය මිල දී ගන්නා ව්‍යාපාරිකයන්ට හීනටියන මහේෂ්ගෙන් දැඩි තර්ජන එල්ල වී ඇති බවත් එවැනි ව්‍යාපාරිකයන් දෙදෙනකු මරා දැමීමේ කොන්ත්‍රාත්තුව අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයාට දී තිබී ඇති බවත් අනාවරණය වී තිබේ. එම ව්‍යාපාරිකයන් දෙදෙනාට විටෙන් විට දුරකතන ඇමතුම් දෙමින් කප්පම් ඉල්ලා ඇති බවත් කප්පම් නොදීම හේතුවෙන් ඔවුන් දෙදෙනාව ඝාතනය කිරීමට හීනටියන මහේෂ් ගෝලයකු යොදවා ඇති බවත් පොලිසිය කියයි.
මීගමුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ අධීක්ෂණයෙන් සහකාර පොලිස් අධිකාරී ගාමිණී රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් කටුනායක පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් නිශ්ශංක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදු කළේය.
ගයාන් කුමාර වීරසිංහ, රක්ෂණ ශ්‍රියන්ත කටුනායක ටී.කේ.ජී. කපිල