Home » ඊශ්‍රායල රැකියා සඳහා එකවර යන වැඩිම පිරිස පිටත්වෙයි

ඊශ්‍රායල රැකියා සඳහා එකවර යන වැඩිම පිරිස පිටත්වෙයි

by chanaka
December 27, 2023 3:52 pm 0 comment

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තවත් ශ්‍රි ලාංකිකයින් 211 දෙනෙකු අද(27) රාත්‍රියේ IZ 640 දරණ විශේෂ ගුවන් යානය මගින් ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතය.

ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය අතර, මීට පෙර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව මෙම රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින්ට හිමි වන අතර, මෙම පිරිසත් සමග ශ්‍රි ලාංකිකයින් 361 දෙනෙකුට ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබේ.

ඊශ්‍රායලය බලා පිටත්ව යන මෙම පිරිස දැනුවත් කිරිම සඳහා විශේෂ වැඩසටහනක් අද පෙරවරුවේ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වූ අතර, ඊට Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා, සුබපැතුම් එක් කරන ලදී.

තමන් මෙම රැකියාවෙන් උපයා ගන්නා මුදල් මගින් තමන්ට හා තම පවුලේ සාමාජිකයින්ගේ ආර්ථිකය ඉහළ නැංවීම සිදුවන අතරම, නීත්‍යානුකූලව බැංකු පද්ධතිය හරහා මුදල් එවීම මගින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට දායක වන ලෙස අමාත්‍යවරයා රැකියා ලාභීන්ගෙන් ඉල්ලා සිටියේය. එසේම ඔවුන් ඊශ්‍රායලයේදී, ලංකාවේ නිල නොලත් තානාපතිවරුන් වන බැවින් සෑම විටම රටේ කීර්තිනාමය හා ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා ලබාගැනීම සදහා කිසිදු අතරමැදියෙක්ට මුදල් ලබා නොදෙන ලෙස ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි. එසේ මුදල් ලබාදී ඇති බවට තොරතුරු වාර්තා වුවහොත් මුදල් ලබාදී ඇති ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීම සදහා ඊශ්‍රායලය සමග එකතාවයකට පැමිණ ඇති බවද කාර්යාංශය වැඩිදුරටත් දන්වා සිටියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT