Monday, April 21, 2025
Home » ලොකු ලූනු අස්වැන්න හදුන්වාදෙන ඉහළ තාක්ෂණික පැකේජයක්

ලොකු ලූනු අස්වැන්න හදුන්වාදෙන ඉහළ තාක්ෂණික පැකේජයක්

by chanaka
December 27, 2023 3:44 pm 0 comment

මෙරට ලොකු ලූනු වගාවේ අස්වැන්න ඉහළ නැංවීම සඳහා මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර භෝග පර්යේෂණ ආයතනය විසින් ඉහළ තාක්ෂණික පැකේජයක් ගොවීන් වෙත හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව හෙක්ටයාර් එකකට රුපියල් මිලියන 2.5ක මුදලක් වැය වන අතර ඊට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් රුපියල් මිලියන 160ක මුදලක් 2024 වර්ෂය සඳහා වෙන් කර ඇත.

රජය විසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙත බීජ නිෂ්පාදනය සඳහා ලබා දී ඇති මුල්‍ය ප්‍රතිපාදනවලින් කොටසක් මෙම නව පැකේජය සඳහා වෙන් කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය පැවසුවාය.

අද දින (27) පෙරවරුවේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් එම අමාත්‍යාංශයේ දී පැවැති අතර ශ්‍රී ලංකාවේ ලොකු ලූනු වගාව ව්‍යාප්ත කිරීම සඳහා 2024 වර්ෂයේ ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩ පිළිවෙළ සම්බන්ධව අමාත්‍යවරයා කරුණු විමසනු ලැබීය.

අප රටේ වාර්ෂික ලොකු ලූනු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් ලක්ෂ තුනකි. නමුත් මේ වනවිට අප රටේ ලොකු ලූනු වගාව පහත වැටී තිබේ. මෙම තත්ත්වය නිසා මෙරට ලොකු ලූනු වගාව යළිත් ප්‍රචලිත කිරීම සඳහා නව ඉහළ තාක්ෂණික වගා පැකේජයක් හඳුන්වා දීමට පියවර ගෙන ඇත. මේ යටතේ උසස් බීජ, බින්දූ ජල තාක්ෂණය හා වැඩි අස්වැන්නක් ලබා ගත හැකි වන අයුරින් වගා කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සපයනු ලබයි.

දැනට ලොකු ලූනු වගා කරන හෙක්ටයාර් එකකින් ලබන අස්වැන්න මෙට්‍රික් ටොන් 20ක් වන අතර මෙම ඉහළ තාක්ෂණික පැකේජය මගින් අස්වැන්න මෙට්‍රික් ටොන් 40ක් දක්වා දෙගුණ කර ගත හැකිවේ.

මෙම නව තාක්ෂණික වගා පැකේජය 2024 සිට 2026 දක්වා හෙක්ටයාර් 650කට හදුන්වා දීමට නියමිතය. එමෙන්ම 2024 වර්ෂය තුළ ලොකු ලූනු වගා කෙරෙන ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 4000 දක්වා ඉහළ නැංවීමට ද කටයුතු යොදා ඇති අතර ඉන් අපේක්ෂිත අස්වැන්න මෙට්‍රික් ටොන් 80,000කි.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලොකු ලූනුවලින් අපේ රටට ස්වයංපෝෂිත වීමේ හැකියාවක් නැත. ඊට හේතුව ලොකු ලූනු වගා කිරීමට හැකි සුවිශේෂිත ඉඩම් ඇත්තේ සීමිත ප්‍රමාණයකි. එහෙත් වගා කළ හැකි ඉඩම්වලින් උපරිම අස්වැන්නක් ලබා ගැනීම මගින් 2024 වර්ෂය තුළ මෙරට ලොකු ලූනු මිල රුපියල් 200 ඉක්මවා යා නොදී පවත්වා ගැනීම සදහා දේශීය ලොකු ලූනු නිෂ්පාදනය ඉහළ නැංවීමට ප්‍රමුඛත්වය ලබා දී කටයුතු කරන ලෙස ද නිලධාරින්ට හා බෝග නායකයින්ට උපදෙස් දුන්නේය.

මෙම සාකච්ඡාවට අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT