Wednesday, April 23, 2025
Home » සුපර් ලීග් වොලි­බෝල් ශූරයෝ යුද හමු­දා­වෙන්

සුපර් ලීග් වොලි­බෝල් ශූරයෝ යුද හමු­දා­වෙන්

කාන්තා ශූර­තාව යළිත් ගුවන් හමු­දා­වට

by Gayan Abeykoon
December 25, 2023 1:30 am 0 comment

නිරෝෂාන් ප්‍රියංකර
පිරිමි ශූර­තාව යුද හමුදාවට

 

කාන්තා ශූර­තාව ගුවන් හමු­දාවට

කාන්තා ශූර­තාව ගුවන් හමු­දාවට

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය 72 වැනි වරට සංවිධාන කළ ජාතික වොලිබෝල් තරගාවලියේ සුපර් ලීග් පිරිමි ශූරතාව දිනා ගැනීමට යුද හමුදා කණ්ඩායම සමත් වූ අතර, කාන්තා ශූරතාව ගුවන් හමුදාව සතු විය.

මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ඊයේ පැවති පිරිමි අවසන් තරගයේදී යුද හමුදාව හමුවේ තරග වට 3-1කින් විදුලිබල මණ්ඩලය පරාජයට පත් විය. ඉතා උණුසුම් මුහුණුවරක් ගත් එම තරගයේ පළමු වටය 25-22ක් ලෙස ජයගත් යුද හමුදාව දෙවැනි වටයේදී ලකුණු 25-13ක පහසු ජයක් වාර්තා කළේය. තෙවැනි වටයේදී යුද හමුදාව අබිබවා යෑමට විදුලිබල පිල සමත් වූයේ වට 25-18ක් ලෙසිනි. ‍කෙසේ වෙතත් සිවුවැනි වටය ලකුණු 25-19ක් ලෙස ජය ගනිමින් ශූරයන් බවට පත්වීමට යුද හමුදාවට හැකි විය.

පසුගිය වසරේදීත් ශූරියන් වී සිටි ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ ඊයේ සිය ශූරතාව රැක ගැනීමට සමත් වූයේ අවසන් තරගයේදී යුද හමුදාවට එරෙහි වට 3-0ක පහසු ජයක් සමඟිනි. එහි ලකුණු තත්ත්වය වූයේ 25-21, 25-18 සහ 25-17ක් ලෙසිනි. යුද හමුදාව පසුගිය වසරේදීත් අනුශූරතාව දිනා තිබීම විශේෂත්වයකි.

මේ අතර පිරිමි තරගාවලියේ තෙවැනි ස්ථානය වෙනුවෙන් ඊයේ පැවති තරගයේදී පොලිස් ක්‍රීඩා සමාජය වට 3-1කින් ජය ගැනීමට වරාය අධිකාරිය සමත් විය. එහි ලකුණු තත්ත්වය 25-23, 22-25, 25-10 සහ 25-18 ලෙස සටහන් විය.

මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ සජිත් කැළුම්රත්න සම්මාන දිනාගත් අතර, ගුවන් හමුදාවේ ජේ.ඩබ්.පී. තුෂාරි දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්තාය.

පිරිමි තරග අංශයේ දක්ෂතම පිටතින් පහරදෙන්නා සජිත් කැළුම්රත්න (යුද), දක්ෂතම මධ්‍යම ක්‍රීඩකයා අයේෂ් ඩිල්හාන් (විදුලි), දක්ෂතම ප්‍රහාරකයා කලෙයි චෙල්වම් (යුද), දක්ෂතම පිටිය සකසන්නා ප්‍රභාත් දුෂ්‍යන්ත (යුද), දක්ෂතම පන්දු ඔසවාදෙන්නා මනෝජ් සුරංග (යුද) සම්මාන දිනාගත් අතර, කාන්තා අංශයේ දක්ෂතම පිටතින් පහරදෙන්නිය දිනේෂා ප්‍රසාදිනී (ගුවන්), දක්ෂතම මධ්‍යම ක්‍රීඩිකාව ඉරේෂා උමයංගනී (ගුවන්), දක්ෂතම ප්‍රහාරිකාව අමානි කෞශල්‍යා (ගුවන්), දක්ෂතම පිටිය සකසන්නිය ජේ.ඩබ්.පී. තුෂාරි (ගුවන්), දක්ෂතම පන්දු ඔසවාදෙන්නිය නිදුනි හිමංසලා (ගුවන්) සම්මාන දිනා ගත්හ.

අඛණ්ඩව 17 වැනි වරටත් මංචි අනුග්‍රාහකත්වයෙන් පැවැත්වෙන මේ තරගාවලියේ ජය සංකේත ප්‍රදානෝත්සවය ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ හිටපු සභාපති සහ වැවිලි, ව්‍යවසාය සංවර්ධන ඇමැති හා මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ වත්මන් සභාපති කංචන ජයරත්න, ප්‍රධාන ලේකම් ඒ.එස්. නාලක සහ සීබීඑල් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී දහම් ගුණසේන මහත්වරු ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT