Wednesday, April 23, 2025
Home » බස්නාහිර ඩෙංගු අධි අවදානමක්

බස්නාහිර ඩෙංගු අධි අවදානමක්

රට පුරා තවත් අවදානම් කලාප 62ක් හඳුනා ගනී

by Gayan Abeykoon
December 25, 2023 1:30 am 0 comment

සන්ධ්‍යා කරුණාරත්න

ස්නාහිර පළාත ඩෙංගු අධි අවදානම් කලාපයක් ලෙස හඳුනාගෙන ඇති අතර රටේ සමස්ත ඩෙංගු ආසාදිතයන්ගෙන් සියයට 46ක්ම මෙම පළාතෙන් වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ‘දිනමිණ’ට ඊයේ (24) පැවසීය.

බස්නාහිර පළාතෙන් වාර්තා වන මේ තත්ත්වය අධි වසංගත තත්ත්වයකට පත්වීම වළක්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් කරමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් සියලුම ආයතන ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක්ද නිකුත් කර ඇතැයි හෙතෙම කීවේය.

අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරු, ආණ්ඩුකාර ලේකම්වරු, දිසාපතිවරු, දිස්ත්‍රික් ලේකම්වරු, රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ රාජ්‍ය, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩලවල සභාපතිවරු ඇතුළු සියලුදෙනා වෙත ඩෙංගු රෝගය වැළැක්වීම හා පාලනය සඳහන් මෙම චක්‍රලේඛය ඉකුත් 22 දා යොමු කර ඇත.

මේ වන විට කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්කයන්ගෙන් ආසාදිතයන් 38,890ක් වාර්තා වී තිබේ.

රට පුරා ප්‍රදේශවලින් ඩෙංගු අවදානම් කලාප 62ක් මේ වන විට හඳුනා ගෙන ඇත. ඩෙංගු ආසාදිතයන් ඉහළ යාමේ ප්‍රතිශතයද 10.7 කින් වර්ධනය වී ඇති බව ද ජාතික ඩෙංගු මර්දන වැඩසටහන පෙන්වා දෙයි.

මේ වර්ෂයේ ආරම්භයේ සිට රට පුරා ප්‍රදේශවලින් මේ දක්වා ආසාදිතයන් 84,807ක් වාර්තා වී ඇති බවත් ඩෙංගු මරණ 50ක් වාර්තා වී ඇති බව ද වෛද්‍ය සමරවීර මහතා පැවසුවේය.

කිසියම් පුද්ගලයකුට පැය 48කට වඩා උණ රෝගය පවතින්නේ නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ගත යුතු බවත් උණ රෝගීන් පැරසිටමෝල් හැර වෙනත් වේදනා නාශක භාවිතා නොකළ යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ජාතික, පළාත්, දිස්ත්‍රික්,ආයතන, ග්‍රාමීය හා නිවාස මට්ටමේ ඩෙංගු මර්දන වැඩසටහන් සෞඛ්‍ය අංශවල සහයෝගයද ඇතිව ක්‍රියාත්මක කරන ලෙස අදාළ චක්‍රලේඛය මඟින් සියලු ආයතන ප්‍රධානීන්ට ජනාධිපති ලේකම්වරයා විසින් උපදෙස් දී තිබේ. ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ද එම චක්‍රලේඛයේ සඳහන් කර ඇත.

තම ආයතන පරිශ්‍රය තුළ ඩෙංගු මදුරුවන් බෝ වන පරිසරයක් පවත්වා ගැනීම සම්බන්ධයෙන් ආයතන ප්‍රධානියා වගකීම ගත යුතු අතර එබැවින් ඩෙංගුවලින් තොර පරිසරයක් ඇති කිරීමට සියලු රාජ්‍ය, අර්ධ රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, ඉදිකිරීම් පරිශ්‍ර, වැඩබිම්, පාසල් සහ ආගමික ස්ථාන ඇතුළු පොදු පරිශ්‍රයන්වල ඩෙංගු ව්‍යාප්තිය වැළැක්වීමේ සහ පාලනය කිරීමේ ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීමට ආයතන ප්‍රධානියා විසින් අවශ්‍ය පියවර ගත යුතු බව ද එම චක්‍රලේඛයේ සඳහන්ය.

ආයතන තුළ ඩෙංගු මදුරුවන් බෝ වීමට හැකි ස්ථාන හඳුනාගැනීම, ඉවත් කිරීම්. පසුවිපරම සම්බන්ධයෙන් කටයුතු කළ හැකි සක්‍රිය පුද්ගලයන්ගෙන් සමන්විත කමිටුවක් ස්ථාපිත කර ඒ සඳහා නායකත්වය දැරීමට ක්‍රියාකාරී පුද්ගලයෙකු නම් කළ යුතු බවද දැක්වේ.

සෑම සිකුරාදා දිනම පෙරවරු 9 සිට 9.30 දක්වා කාලය තුළ ඩෙංගු මර්දන ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කළ යුතු බවත් අදාළ කාලයේ එම ක්‍රියාකාරකම් සිදු වන්නේ දැයි සොයා බැලීමට ආයතන ප්‍රධානීන් වගබලා ගත යුතු බවත් දක්වා තිබේ.

එම ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වාර්තාවක් ආයතන ප්‍රධානීන් විසින් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෙත මාසිකව ලබා දිය යුතු බවත් එම වාර්තාව සකස් කිරීමට අදාළව ආකෘතියක්ද චක්‍රලේඛය මඟින් නිකුත් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT