Home » ශ්‍රී ලංකා සංචාරය අත ළඟ තිබියදී සිම්බාබ්වේ පුහුණුකරු ඉල්ලා අස් වෙයි

ශ්‍රී ලංකා සංචාරය අත ළඟ තිබියදී සිම්බාබ්වේ පුහුණුකරු ඉල්ලා අස් වෙයි

by mahesh
December 22, 2023 1:00 am 0 comment

ප්‍රින්ස් ගුණසේකර
ඩේව් හූටන්

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත එක්දින හා විස්සයි20 තරගාවලිය ආසන්නව තිබියදී වහාම ක්‍රියාත්මක වන පරිදි සිම්බාබ්වේ ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඩේව් හූටන් මහතා ඉල්ලා අස් වෙයි. ඒ මහතාගේ ඉල්ලා අස්වීම සිම්බාබ්වේ ක්‍රිකට් මණ්ඩලය විසින් පිළිගෙන ඇතැයි වාර්තා වේ.

එබැවින් ජනවාරි මාසයේදී සිදු කෙරෙන සිම්බාබ්වේ පිලේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් අතුරු කළමනාකරණ කණ්ඩායමක් නම් කරන බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කර ඇත.

පසුගියදා පැවති ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියකදී නැමීබියාව සහ උගන්ඩාව හමුවේ සිම්බාබ්වේ පරාජයට පත්වීමත් සමඟ ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය ක්‍රිකට් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට යොමුකර තිබිණි.

පසුගිය වසරේ ජුනි මාසයේ ඇෆ්ගනිස්තානයේ පැවති එක්දින සහ විස්සයි20 තරග හයම පරාජය වීමෙන් පසුව හිටපු පුහුණුකරු ලෙස ලාල්චන්ද් රාජ්පුත් වෙනුවට 66 හැවිරිදි හූටන් මහතා පත් කළේය. එහෙත් ඩේව් හූටන් මහතා යටතේ ඕවර 50 ලෝක කුසලානය සහ විස්සයි20 ලෝක කුසලානය යන දෙකම සිම්බාබ්වේ පිලට අහිමි විය.

ඩේව් හූටන් සිම්බාබ්වේ පිල වෙනුවෙන් ටෙස්ට් තරග 22කට ක්‍රීඩා කර ඇති අතර, එක්දින තරග 63කට හා පළමු පෙළ තරග 120කට එක් විය.

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර, තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය ජනවාරි මස 6 වැනිදා සිට 11 වැනිදා දක්වා හා තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය ජනවාරි 14 වැනිදා සිට 18 දක්වා පැවැත්වීමට විධිවිධාන යොදා ඇත. මේ සියලු තරග දිවා – රාත්‍රී ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT