දැදිගම පොලිස් වසමේ නෙළුන්දෙණිය පහළගම ග්‍රාමයේ ගල් පර්වතයක් ආසන්නයේ නිදන් හාරමින් සිටිය දී අත්අඩංගුවට ගත් සැකකරුවන් අට දෙනා ජනවාරි 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස තුල්හිරිය මහේස්ත්‍රාත් ප්‍රබුද්ධිකා ලංකාංගනී මහත්මිය පෙරේදා 20 වැනිදා නියෝග කළාය.
රක්ෂිත බන්ධනාගාරගත කර ඇති ප්‍රධාන සැකකරුගේ නිෙවස පිහිටි ඉඩමේ ගල් පර්වතයක පැරණි මාළුවෙකුගේ සලකුණක් තිබී ඇති අතර එම සලකුණ ඔස්සේ ප්‍රධාන සැකකරු එහි නිධානයක් ඇති බවට තහවුරු කරගෙන ඇති බවත් පොලිසිය පැවසීය.
පසුව ප්‍රධාන සැකකරු, සෙසු සැකකරුවන් හත් දෙනා ඉකුත් 19 වැනිදා නිදානය ගොඩ ගැනීමේ අරමුණින් ඔහුගේ නිවසට ගෙන්වාගෙන ඇති බවත් පොලිසිය පැවසීය. පසුව පිරිස 20 වැනිදා රාත්‍රි ගලේ සලකුණට පහළින් විශාල වළක් හාරමින් සිටින අවස්ථාවේ දී දැදිගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගයාන් දංගල්ල මහතාට ලද තොරතුරකට ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එන්. සමරනායක නිලධාරියා ඇතුළු කණ්ඩායමක් අදාළ ස්ථානයට ගොස් පළමුව සැකකරුවන් අට දෙනා අත් අඩංගුවට ගෙන තිබුණි. එම ස්ථානයේ තිබී උදළු දෙකක්, මිටියක්, අලවංගුවක්, පිහියක්, කටුවක්, මැටි පහන් හතක්, සුදු රෙදි පූජාවට ගෙනත් තිබුණු දෙහි ගෙඩි ඇතුළු තොගයක් ද අත්අඩංගුවට ගෙන තිබිණි.