කොළඹ සිටින පුතෙකු කතා කරන මුවාවෙන් වයෝවෘද්ධ පියකුට කතා කර හදිසි ශල්‍යකර්මයක් සඳහා යැයි කියමින් රුපියල් අට ලක්ෂ හැත්තෑ අට දහසක මුදලක් බැංකු ගිණුමකට බැර කරවා ගෙන ඇති බව කියන සැකකරුවකු ලබන ජනවාරි මස 03 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා පෙරේදා (20) පස්වරුවේ නියෝග කළේය.
ගිරාඳුරුකෝට්ටේ ජයන්තිපුර ප්‍රදේශයේ පදිංචි තුසිත ප්‍රසන්න කස්තුරි ආරච්චි නමැත්තකු එසේ රිමාන්ඩ් කරන ලදි. වේයන්ගොඩ කුරීකොටුව පදිංචි වයෝවෘද්ධ පුද්ගලයකුට ඔහුගේ කොළඹ පදිංචි පුතෙකු කතා කරන මුවාවෙන් ඔහුගේ කට හඬින් කතා කර හදිසි ශල්‍යකර්මයක් සඳහා අවශ්‍ය රුපියල් අට ලක්ෂ හැත්තෑ අට දහසක මුදලක් බැංකු ගිණුමකට ඉක්මනින් බැර කරන ලෙසට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව එම වයෝවෘද්ධ පියා කිසිදු සොයා බැලීමකින් තොරව දෙන ලද බැංකු ගිණුම් අංකයකට එම මුදල බැර කර ඇති බව විවෘත අධිකරණයේ දී අනාවරණය විය.
එම සිද්ධිය පසුව වංචාවක් බවට අනාවරණය වීමෙන් අනතුරුව නුංගමුව පොලිසියට පැමිණිලි කර තිබිණ. මේ පිළිබඳව පොලිසිය පරීක්ෂණ පවත්වා ගෙන යද්දි ලද තොරතුරකට අනුව වංචාවට සම්බන්ධ පුද්ගලයා ගිරාඳුරුකෝට්ටේ ජයන්තිපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බවට අනාවරණය වීමෙන් අනතුරුව දෙන ලද පණිවිඩයකට අනුව ගිරාඳුරුකෝට්ටේ පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණ. එම පැමිණිල්ල පෙරේදා (20) පස්වරුවේ නැවත කැඳවූ අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලදි. මෙහිදී නුංගමුව පොලිසියේ උප පොලිස් පරීක්ෂක සුමිත් ජනරංජන මහතා කරුණු දක්වමින් සැකකරු කුරීකොටුව ප්‍රදේශයේ පදිංචි වයෝවෘද්ධ පුද්ගලයකුට ඔහුගේ කොළඹ පදිංචි පුතෙකු කතා කරන මුවාවෙන් ඔහුගේම කට හඬින් කතා කර හදිසි ශල්‍යකර්මයක් සඳහා අවශ්‍ය වන රුපියල් අට ලක්ෂ හැත්තෑ අට දහසක මුදලක් බැංකු ගිණුමට දමන ලෙසට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව එම පුද්ගලයා කිසිදු සොයා බැලීමකින් තොරව එම මුදල බැංකු ගිණුමට බැර කර ඇති බව කියා සිටියේය.
පසුව එය වංචාවක් බවට හෙළි වීමෙන් අනතුරුව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව කරන ලද පරීක්ෂණවලදී සැකකරු තවත් පුද්ගලයින් තිදෙෙනකු සමඟ එක්ව මුදල් වංචාව කර ඇති බව ද උප පොලිස් පරීක්ෂකවරයා පැවසීය.
පමුණුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවකුගෙන් මූලික තොරතුරු හෙළි වීමෙන් පසුව කරන ලද දැනුම් දීමකට අනුව ගිරාඳුරුකෝට්ටේ පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගත් බව ද උප පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළේය.
සැකකරුගේ මවගේ බැංකු ගිණුමකට මුදල් බැර කරවා ගෙන ඇති බවත්, මෙයට සම්බන්ධ තවත් පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුරටත් පරීක්ෂණ පවත්වා ගෙන යන බව ද උප පොලිස් පරීක්ෂකවරයා කියා සිටියේය.
පොලිසියේ කරුණු දැක්වීම්වලින් අනතුරුව එසේ සැකකරු රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට නියෝග කැරිණි. නැවත කැඳවීම ලබන ජනවාරි මස 03 වනදාට කල් තැබිණ. නුංගමුව පොලිසියේ උප පොලිස් පරීක්ෂක සුමිත් ජනරංජන මහතා පැමිණිල්ල මෙහෙය විය.