Monday, April 21, 2025
Home » කෝට්ටේ මහානගර සභා හිටපු සභාපතිගෙන් කෝටි 5ක කප්පමක් ඉල්ලූ ශ්‍රීලනිප සංවිධායක දැලේ

කෝට්ටේ මහානගර සභා හිටපු සභාපතිගෙන් කෝටි 5ක කප්පමක් ඉල්ලූ ශ්‍රීලනිප සංවිධායක දැලේ

by mahesh
December 22, 2023 1:00 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ, බණ්ඩාරගම - බිමල් ජයසිංහ

පිටරට දුරකතන අංකයකින් ඇමතුම් දෙමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ හිටපු සභාපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෝට්ටේ ආසන සංවිධායක ජනක රණවක මහතාට මරණ තර්ජනය කර රුපියල් කෝටි 05ක මුදලක් කප්පමක් ලෙස ඉල්ලීමක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ කොළඹ අපරාධ කොට්ඨාසය ඒ සම්බන්ධයෙන් සැකපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරයකු වන සමන් විජේසුන්දර මහතාව පෙරේදා (21) අත්අඩංගුවට ගෙන තිබේ.

අංගොඩ කුඩාබුත්ගමුවේ නිවෙසේදී සමන් විජේසුන්දර මහතාව අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය. කප්පම්කරු විසින් ඩුබායිහි දුරකතන අංකයකින් පළමු ඇමතුම රණවක මහතාට දී ඇත්තේ පසුගිය නොවැම්බර් 24 වැනිදාය. ඒ වට්ස්ඇප් මඟිනි. අනතුරුව දිගින් දිගටම ඇමතුම් දෙමින් රුපියල් කෝටි 05ක කප්පම් ඉල්ලා ඇති බව පොලිසිය කියයි.

“ජනක මහත්තයා සරලව.. මෙච්චරයි.. ඔයා කෝටි 05ක් ලෑස්ති කර ගන්න ජීවත් වෙලා ඉන්න ආශාවක් තියෙනව නම්. පවුලේ දරුවන්ට ආශාවක් තියෙනව නම් ඔයා කෝටි 05ක් ලෑස්ති කර ගන්න. ඔයාට දවස් තුනක් කල් දෙනවා. ඒ දවස් තුන ඇතුළත ඔයා ගන්න ඩිසිෂන් එක අරගෙන මට මේ නම්බර් එකට මැසේජ් එකක් දාල තියන්න. ඔයා පොලිසි නෙමෙයි කොහේ ගියත් අදාළ නැහැ. ඉවරයක් කරනවා. කිව්වොත් ඉවරයක් කරනවා. බුලට් තුනක් හතරක් බස්ස ගන්න කලින් කළු සල්ලි තියෙනවනේ ඔයා ළඟ, කෝටි පහක් ලෑස්ති කර ගන්න.“

එම මුල්ම තර්ජනය ඔහුට එල්ලවී ඇත්තේ එසේය.

අනතුරුව ඔහු “කවුද කින්ද මන්ද කියල හොයන්න අමාරුයි. හොයන්න බැරි වෙයි. ඒ නිසා කියපු දේ විතරක් කරන්න. ඕකේ. කෝටි පහයි. දුව එහෙම ඉස්කෝලේ යනවනේ. චූටි දූ. මම සියලු විස්තර හොයාගෙන කෙනා කවුද කියල දැනගෙන තමයි මහත්තයො කථා කරන්නේ. ඔයා මට සල්ලි ලෑස්ති කරන්න. මැසේජ් එකක් දාන්න. දවස් තුනක් දෙනවා. ඔයාට මම තුනෙන් කථා කරනවා. සල්ලි දුන්නෙ නැතිනම් සතියක් ඇතුළත උඹව මරනවා. නැත්තම් දරුවෙක්ව හරි. කථා දෙකක් නැහැ මහත්තයෝ“ යැයි කියා ද තර්ජනය කර තිබේ.

මේ සම්බන්ධයෙන් ජනක රණවක මහතා දෙසැම්බර් 05 වැනිදා මිරිහාන පොලිසියට පැමිණිල්ලක් කර ඇත. ඒ වන විට ඩුබායි දුරකතන ඇමතුමට අමතරව පාකිස්තානයේ දුරකතන අංකයකින් ද ජනක රණවක මහතාගෙන් කප්පම් ඉල්ලා දිගින් දිගටම තර්ජන එල්ලවන්නට වූ බැවින් ඔහු මේ ගැන දෙසැම්බර් 12 වැනිදා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට ලිඛිතව පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ. එම පැමිණිල්ලට අනුව කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශන ආරම්භ කර ඇත්තේ වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙසිනි. කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කප්පම් ඉල්ලා තර්ජනය කිරීමට අදාළ ජාලය ගැන තොරතුරු හෙළි කරගෙන ඇත.

එහිදී පෙනී ගොස් ඇත්තේ ඉඩම් ආරවුලක් මුල් කරගෙන සමන් විජේසුන්දර මහතා විසින් විදෙස්ගතව සිටින සිය ඥාති පුතකු මඟින් ජනක රණවක මහතාට තර්ජනය කර කප්පම් ඉල්ලා ඇති බවය. ඒ අනුව සමන් විජේසුන්දර මහතාව අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT