Home » වල්පොල-කලපළුවාව ග්‍රාම වසම්වල ඩෙංගු කීටයන් ඩ්‍රෝන තාක්ෂණයෙන් විනාශ කරන මෙහෙයුමක්

වල්පොල-කලපළුවාව ග්‍රාම වසම්වල ඩෙංගු කීටයන් ඩ්‍රෝන තාක්ෂණයෙන් විනාශ කරන මෙහෙයුමක්

by mahesh
December 22, 2023 1:00 am 0 comment

සන්ධ්‍යා කරුණාරත්න

ඩෙංගු කීටයන් බෝ වන ස්ථාන ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනිමින් සොයා විනාශ කිරීමේ මෙහෙයුමක් බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ වල්පොල හා කලපළුවාව ග්‍රාම නිලධාරී වසම්වල ඊයේ (21) ක්‍රියාත්මක කෙරිණි.

මෙම අවස්ථාව නිරීක්ෂණය කිරීමට සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැමිණ සිටි අතර ඒ මහතා මෙහිදී පැවසුවේ ඩෙංගු මර්දනයට නීති තිබුණත් ජනතාව දැනුවත් කර ඔවුන් සම්බන්ධ කර ගනිමින් ඩෙංගු පාලනය කිරීම වැදගත් බවයි.

බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ වල්පොල හා කලපළුවාව ග්‍රාම නිලධාරී වසම්වල ඩෙංගු රෝගීන් වාර්තා වීමේ යම් වර්ධනයක් පෙන්නුම් කරන නිසා මෙම විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන සංවිධානය කර තිබිණ.

නිවාස, වැඩබිම්, ආගමික ස්ථාන, රාජ්‍ය ආයතන, ඉඩම් වැනි ක්ෂේත්‍ර පරීක්ෂාවට ලක්කරමින් ජනතාව දැනුවත් කිරීම, මදුරු කීටයන් සහිත ස්ථාන විනාශ කිරීම හා මදුරු කීටයන් බෝ විය හැකි ස්ථාන හඳුනා‍ගෙන ඊට පිළියම් යෙදීම මෙහිදී සිදුවිය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ, කීට විද්‍යා නිලධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ මෙම වැඩසටහනේදී, කණ්ඩායම් 8ක් වශයෙන් බෙදී ක්ෂේත්‍ර පරීක්ෂාව හා මදුරු මර්දනය සඳහා කටයුතු කෙරිණි. ඩෙංගු මර්දනය බහුපාර්ශ්වීය ක්‍රියා අදාළව වන අතර මාධ්‍ය ඇතුළු සියලු දෙනාගේම සහාය මේ සඳහා අවශ්‍ය වන බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

මේ අවස්ථාවට වල්පොල ශ්‍රී මහා විහාරයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ, බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මිකා ජයලත්, කොළඹ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක, බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික එල්ලාවල, මාලබේ ප්‍රාදේශීය ලේකම් සම්පත් ඉඩම්ගොඩගේ, ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහත්ම මහත්මීන් ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරීන් ද ඩෙංගු මර්දන කාර්ය සහායකයන් ද ග්‍රාමීය මවු කමිටු සාමාජිකයන් ද ග්‍රාම නිලධාරීන් ද ආරක්ෂක අංශ නිලධාරීන් ද ඇතුළු ප්‍රදේශවාසීහු රැසක් සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT