Sunday, April 20, 2025
Home » කටුනායක ගුවන්තොටෙන් කෝටි 2600ක ලාභයක්

කටුනායක ගුවන්තොටෙන් කෝටි 2600ක ලාභයක්

by mahesh
December 22, 2023 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ මේ වසරේදී රුපියල් කෝටි 2600ක (රුපියල් බිලියන 26) ලාභාංශයක් වාර්තා කිරීමට සමත්ව තිබේ.

කොවිඩ් වසංගත සමයේදී ගුවන්තොටුපොළ රුපියල් කෝටි 400ක පමණ පාඩු ලැබූ නමුත් මේ වසරේදී ගතවූ කාලය තුළ මෙවැනි ලාභාංශයක් වාර්තා කිරීමට හැකිවූවා පමණක් නොව එම ගුවන්තොටුපොළ අග්නිදිග ආසියාවේ තාක්ෂණය අතින් විශිෂ්ටතම ගුවන්තොටුපොළ බවට පත්කර තිබෙන බව ද වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

ඒ වෙනුවෙන් ගුවන්තොටුපොළ පරිශ්‍රයේ නවීන සන්නිවේදන උපකරණ, රේඩාර් සවි කිරීම ඇතුළුව ගුවන්තොටුපොළේ පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් රජය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව පෙන්වාදෙන ඒ මහතා ගුවන්තොටුපොළ සතු මුදලින් ඒ සඳහා මුදල් ආයෝජනය කර තිබෙන බව ද ඒ අනුව අපේ ගුවන් කලාපයේ සුරක්ෂිතතාව මෙන්ම ගුවන්තොටුපොළේ සුරක්ෂිතතාව ඇති කිරීමට හැකිව තිබෙන බවද පෙන්වා දෙයි.

මෙවැනි තත්ත්වයන් හේතුවෙන් කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ මගී තදබදයක් ඇති වූ අතර ඒ අනුව ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ සහනදායී ණය මුදලකින් එම ගුවන්තොටුපොළේ දෙවැනි පර්යන්තය ඉදි කිරීමට පියවර ගෙන තිබෙන බව ද මෙරට ඇති වූ ආර්ථික අවපාතය මෙන්ම රට බංකොලොත් බවට ප්‍රකාශ කිරීම හේතුවෙන් එම ආයතනය ලබාදුන් ණය ආධාරය නවතා දැමූ බවද සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ජපන් රජය සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව සිහිපත් කරන නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ අවසන් වූ සැණින් නැවතත් එම ණය මුදල බලාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද ඒ අනුව එම පර්යන්තයේ ඉතිරි වැඩ කොටස අවසන් කිරීමට හැකිව තිබෙන බවද කියා සිටී.

එතෙක් බලා නොසිට ශ්‍රී ලංකා රජයේ මුදලින් රුපියල් කෝටි 650ක මුදලක් වැය කොට කුඩා පර්යන්තයක් මාස හයක පමණ කාලයක් තුළදී ඉදි කිරීමට පියවර ගෙන තිබෙන බව පෙන්වා දෙන ඇමැතිවරයා ඒ වෙනුවෙන් අවශ්‍ය ටෙන්ඩර් කැඳවීම මේ වන විට සිදු කර තිබෙන බව ද එළඹෙන පෙබරවාරි මාසය වන විට එම පර්යන්තයේ වැඩකටයුතු ආරම්භ කොට මාස හයකින් එය මගී තදබදය අවම කිරීම සඳහා යොදා ගැනීමට හැකිවනු ඇතැයි ද පවසයි.

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සඳහා රුසියානු සංචාරකයන් විශාල පිරිසක් පැමිණෙමින් සිටින බව පෙන්වා දෙන ඒ මහතා ඒ අනුව එම ගුවන්තොටුපොළේ අලාභය යම් මට්ටමකින් අවම කර ගැනීමට හැකිව තිබෙන බව ද හෙතෙම පෙන්වා දෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT