මම උදේ තනියම පාසලට ගියා. අම්මා නංගි අරගෙන ඊළඟ පාසලට ඇවිත් නංගිගේ පන්ති කාමරයයි මිදුලයි අතු ගාලා ආපසු ගෙදර එන්න ඇවිත් තියෙනවා. ටික වේලාවක් ගියාට පස්සේ මගේ පන්තියේ ප්‍රියන්ති මැඩම් මට කීවා ඔයා නංගි එක්ක ගෙදර යන්න කියලා. පස්සේ මම පාසලේ ගුරු පුහුණුවක් ලබන කාවින්දි අක්කා එක්ක ගෙදර ආවා. එනකොට මාමා අඬාගෙන ගෙදර ඇවිත් කිව්වා අම්මාට හොඳටම අමාරුයි කියලා. ටික වෙලාවක් ගියාට පස්සේ සීයා කිව්වා. අම්මා නැති වුණා කියලා යැයි වෑන් රථයක ගැටී මියගිය තිදරු මවගේ දෙවැනි දියණිය වන 13හැවිරිදි ශෂිනි නිසංසලා වීරසිංහ ශිෂ්‍යයාව ඊයේ(21) හැඬූ කඳුළින් පැවසුවාය.
මෙසේ රිය අනතුරකින් මියගොස් තිබුණේ මාවනැල්ල හිඟුල ගණේතැන්න පල්ලේ මාකඩවර දෙඹටගහවත්ත ලිපිනයේ පදිංචිව සිටි 48හැවිරිදි දෙඹටගහවත්තේ ගෙදර නිලන්ති රේණුකා නැමැති තිදරු මවකි. මිය ගොස් ඇති තිදරු මව පෙරේදා(20) පෙරවරුවේ තෙවැනි දියණිය වන නව හැවිරිදි සින්නුත් දුරයලාගේ අෂිනී නිමේෂා වීරසිංහ ශිෂ්‍යයාව උඩමාකඩවර කනිෂ්ඨ විද්‍යාලයට ඇරලවා ආපසු මහනුවර දෙසට වම් පසින් නිවස වෙත ගමන් කරමින් සිටිය දී මහනුවර සිට කටුනායක ගුවන් තොටුපොළ දක්වා ගමන් කරමින් තිබූ වෑන් රථයක රියැදුරුට නින්ද යෑමෙන් ප්‍රතිවිරුද්ධ දෙසට ධාවනය වී මාර්ගය ආසන්නයේ ගමන් කරමින් සිටි තිදරු මවගේ ගැටී බරපතළ තුවාල ලබා මාවනැල්ල රෝහලට ඇතුළත් කර තිබුණි. මාවනැල්ල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තිදරු මව පසුව මියගොස් තිබුණි. මිය ගිය තිදරු මවගේ පශ්චාත් මරණ පරීක්ෂණය පෙරේදා (20) දහවල් මාවනැල්ල රෝහලේ හදිසි මරණ පරීක්ෂක යූ.එම්.ටී.බී.ඩබ්ලිව්. උලගොඩ මහතා ඉදිරියේදී පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් ශෂිනී නිසංසලා දියණිය මෙසේද පැවසුවාය.
මගේ තාත්තා උපුල් වීරසිංහ.තාත්තා කොළඹ ඉන්දියන් හෝටලයක සූපවේදියෙක් ලෙස සේවය කරනවා. අම්මා ගෙදර දොර වැඩ කරගෙන හිටියා. අයියා අවිශ්ක දුෂාන් වීරසිංහ තාම රැකියාවක් කරන්නේ නෑ. ගෙදර ඉන්නවා. මම උඩමාකඩවර කනිෂ්ඨ විද්‍යාලයේ අටේ පන්තියේ ඉගෙනුම ලබනවා.නංගිත් මගේ පාසලේම හතරේ පන්තියේ ඉගෙනුම ලබනවා.
තාත්තා හැමදාම පාන්දර ගෙදර ඉඳලා කොළඹ වැඩට යනවා. අම්මා පාන්දර නැගිටලා උයලා අපි දෙන්නාගේ කොණ්ඩේ පීරලා ගොතලා දෙනවා.මම තනිවම කල් තියා පන්ති අතුගාන්න ඕනෑ නිසා යනවා. ඊට පස්සේ අම්මා නංගි අරගෙන පාසලට එනවා.
පෙරේදා (20) මම සුපුරුදු පරිදි කල්තියා පාසලට ගියා. ඊට පස්සේ අම්මා නංගි එක්ක පාසලට ඇවිත් නංගිගේ පන්ති කාමරය අතුගාලා මිදුල අතුගාලා පාසලෙන් ඇවිල්ලා කඩේකට ගිහින් එළවළු ටිකකුත් අරගෙන ගෙදර එන්න ඇවිත් තියෙනවා.පස්සේ මම පන්තියේ ඉගෙනුම ලබමින් ඉන්නකොට පන්තියේ ප්‍රියන්ති මැඩම් කිව්වා. නංගිත් එක්ක ගෙදර යන්න ලෑස්ති වෙන්න කියලා. පස්සේ මම පාසලේ පුහුණුව ලබන කාවින්දි අක්කා සමඟ නංගිත් එක්ක ගෙදර ආවා. ඇවිත් ඉන්නකොට දනුෂ්ක රංජිත් මාමා රෝහලේ ඉඳලා අඬාගෙන ඇවිත් කිව්වා අම්මාට අමාරුයි කියලා. ඒ වෙනකොට අම්මාගේ අම්මයි තාත්තයි රෝහලට ගිහිල්ලා තියෙනවා. පස්සේ අත්තා රෝහලේ ඉඳලා ගෙදර ඇවිත් කිව්වා අම්මා නැති වුණා කියලා. හැමදාම උදේට උයලා ඇඳුම් අයන් කර කොණ්ඩය පීරලා ගොතලා දුන්න අම්මා අද පෙට්ටියක නිදාගෙන ඉන්නවා. මට මේක දරාගන්න අමාරුයි. මමයි නංගියි පාසල් යනකොට කොණ්ඩය පීරලා ගොතලා දෙන්න අපේ අම්මා දැන් නෑ.
සැමියා වන උපුල් වීරසිංහ (49) මහතා-
මම කොළඹ ගෝල්ෆේස් පිහිටි ඉන්දියන් හෝටලයක සූපවේදියකු ලෙස සේවය කරනවා. හැමදාම මම උදේ පාන්දර 4.30ට ගෙදරින් පිටවී යනවා. නැවත නිවසට එනකොට රාත්‍රි 8 පමණ වෙනවා. මම නිලන්ති රේණුකා සමඟ විවාහ වෙලා අවුරුදු 23ක්. මට දරුවන් තිදෙනයි. පුතා ගෙදර ඉන්නවා දුවලා දෙන්නා උඩමාකඩවර කනිෂ්ඨ විද්‍යාලයේ අටේ පන්තියේ හා හතරේ පන්තියේ ඉගෙන ගන්නවා.මම හැමදාම හෝටලයට ගිහින් බිරියට කතා කරන්න ඕනෑ. පෙරේදා (20) උදේ 7.00ට පමණ ගිහින් මම ඇමතුමක් ගත්තා. ඊට පස්සේ බිරිය කිව්වා දරු දෙදෙනාගේ කොණ්ඩය ගොතනවා කියලා. පරිස්සමෙන් වැඩ ඇරිලා ගෙදර ආපසු එන්න කියා මට කීවා. දුරකතනය තියලා හෝටලයේ උදේ තිබුණු සාකච්ඡාවට මම ගියා.
ගිහින් ඇවිත් දුරකතනය බලනකොට ඇමතුම් 30ක් විතර ඇවිත් තිබුණා. බිරියගේ මල්ලී රංජිත් කීවා බාල දුව පාසලට ගිහින් ඇරලවා එනකොට අක්කා අනතුරකට ලක්වෙලා ඉක්මනට එන්න කියලා. පස්සේ මම මාවනැල්ල රෝහලට ආවා. මාවනැල්ල රෝහලේ දී තමයි බිරිය මිය ගිහින් තියෙනවා කියා දැන ගත්තේ යැයි පැවසීය.
මාවනැල්ල රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඩබ්ලිව්.ඒ.එම්. වීරසිංහ මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීය. මාර්ගයේ සිදු වූ අනතුරකින් හිස හා අක්මාව තුවාල ලබා රුධිරය අභ්‍යන්තරයට වාහනය වීමෙන් වූ හදිසි අනතුරු මරණයක් බවට මාවනැල්ල රෝහලේ හදිසි මරණ පරීක්ෂක යූ.එම්.ටී.බී.ඩබ්ලිව්. උලගොඩ මහතා තීන්දු කළේය. ජීවිතක්ෂයට පත් තිදරු මවගේ අවසන් කටයුතු අද (22) පවුලේ සුසාන භූමියේ දී සිදු කෙරේ.