Home » අභියෝගවලට රටේ හැමෝම ශක්තිමත්ව මුහුණ දුන්නොත් ඉදිරියේ දී ආර්ථිකය සුරක්ෂිතයි

අභියෝගවලට රටේ හැමෝම ශක්තිමත්ව මුහුණ දුන්නොත් ඉදිරියේ දී ආර්ථිකය සුරක්ෂිතයි

දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ 19 වන මහා සභා රැස්වීමේදී ජනපති කියයි

by mahesh
December 22, 2023 1:00 am 0 comment

ශිරෝමි අබයසිංහ

අභියාචනා ප්‍රමාද වීම් සහ ආදායම් එකතු කිරීම කඩිනම් කරගත හැකි යන්ත්‍රණයක් අවශ්‍යයි

මෙරට ආර්ථික වර්ධනය වේගවත් කිරීමට පුළුල් උපාය මාර්ගික ක්‍රියාවලියක් මත කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. වත්මන් අභියෝගවලට සියලුදෙනා එක්ව, ශක්තිමත්ව මුහුණ දුන්නොත් ඉදිරි වසර කීපයේ මෙරට ආර්ථික සමෘද්ධිය සුරක්ෂිත කර ගැනීමටත්, ආර්ථික අභියෝග ජය ගැනීමටත් අනිවාර්යයෙන් හැකියාව ලැබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී පෙරේදා (20) පැවති දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ 19 වන මහා සභා රැස්වීම අමතමිනි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කළමනාකාරිත්වයෙන් 82%ක් මේ සංගමයේ සාමාජිකත්වය උසුලන අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පරිපාලනය සමඟ සෘජුවම කටයුතු කරන අංශ ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්ගෙන් පමණක් මේ සංගමය සමන්විත වේ.

මෙහිදී වැඩිදුරටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

මෙරට වෙළෙඳ ශේෂයේ ඇති අභියෝග මෙන්ම ඉහළ තරගකාරී ආර්ථිකයක් පෝෂණය කිරීමේ වැදගත්කම අප අවබෝධ කර ගත යුතුයි. ඒ අනුව අප රජය ඉන්දියාව, චීනය, සිංගප්පූරුව සහ තායිලන්තය වැනි රටවල් සමඟ වෙළෙඳ ගිවිසුම් ගත වී කටයුතු කරනවා. ඒ සමඟම අපේ ඉලක්කය වන්නේ ඉන් ඔබ්බට වන අවස්ථා ගවේෂණය කිරීම සහ යුරෝපීය සංගමය සමඟ වෙළෙඳ සබඳතා වැඩි දියුණු කර ගැනීමයි.

එම ඉලක්කය සපුරා ගැනීමේ දී මුහුණ දෙන තරගකාරීත්වය ජය ගැනීමට ශ්‍රී ලංකාව මේ වන විට පූර්ණ ඩිජිටල්කරණයට කැප වී සිටිනවා. ඒ අනුව ඩිජිටල් පරිවර්තන නියෝජිතායතනය සහ කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානය එක්ව කටයුතු කරමින් සිටිනවා. නිශ්චිත කාලරාමුවක් තුළ මෙරට සම්පූර්ණයෙන් ඩිජිටල්කරණය කිරීමට පුළුල් සැලැස්මක් නිර්මාණය කිරීම මෙහි මූලික අරමුණයි.

හරිත ආර්ථිකයක් බවට පත් කිරීමේ උත්සාහය සමඟ ශ්‍රී ලංකාව ගෝලීය තිරසර ඉලක්ක සපුරා ගැනීම සඳහා පරිසර හිතකාමී පරිචයන් සහතික කරමින් ශුද්ධ ශුන්‍ය ඉලක්කය සපුරා ගැනීමට කටයුතු කරමින් සිටිනවා. මේ ඉලක්ක සපුරා ගැනීමට අප කෙටි කාලයකින් අවම උත්සාහයකින් සාක්ෂාත් කර ගැනීමට පහසු ක්ෂේත්‍ර හඳුනාගෙන වැඩිදියුණු කර ගත යුතුයි. ඒ අනුව සංචාරක ව්‍යාපාරය, කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්තිය සහ තොරතුරු තාක්‍ෂණය වැනි ක්ෂේත්‍ර හඳුනා ගෙන තිබෙනවා.

ඵලදායීතාව ඉහළ නැංවීමට තාක්ෂණය උපයෝගී කරගනිමින් කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. වී වගාව වැඩිදියුණු කිරීම, භාවිතයට නොගත් ඉඩම් නිදහස් කිරීම සහ කුඩා පරිමාණ කෘෂිකර්මාන්තය නඟා සිටුවීම කෙරෙහි අපගේ වැඩි අවධානයක් යොමු වී තිබෙනවා. පුනර්ජනනීය බලශක්තිය සඳහා ශ්‍රී ලංකාවේ ඇති හැකියාව තවමත් සම්පූර්ණයෙන් තක්සේරු කර නැහැ. ඉන්දියාව ඇතුළු තවත් රටවල් සඳහා අපගේ අතිරික්ත බලශක්තිය අපනයනය කළ හැකි බවට හඳුනාගෙන ඇති සුළං සහ සූර්ය බලශක්ති ව්‍යාපෘති සඳහා සැලකිය යුතු ආයෝජනයක් කිරීමට ද අප අපේක්ෂා කරනවා.

තොරතුරු තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය (AI) සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීම මේ උපාය මාර්ගයේ ප්‍රධානම සාධක වෙනවා. පෞද්ගලික අංශය සමඟ එක්ව තවත් පුහුණු ආයතන ආරම්භ කිරීමටත්, කෘත්‍රිම බුද්ධිය පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහාත් විශාල මුදලක් වෙන් කර තිබෙනවා. මෙසේ නඟා සිටුවන තාක්ෂණය සහ කර්මාන්ත ප්‍රාග්ධනය ලෙස තබාගෙන කලාපීය සැපයුම් මධ්‍යස්ථානයක් බවට පත්වීමට ද ශ්‍රී ලංකාව අපේක්ෂා කරනවා.

මෙහිදී මූල්‍ය විනය සහතික කිරීම වෙනුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට සහ අනෙකුත් ආදායම් දෙපාර්තමේන්තුවලට ප්‍රමුඛ කාර්යභාරයක් පැවරෙනවා. අභියාචනා ප්‍රමාද වීම් සහ ආදායම් එකතු කිරීම කඩිනම් කරගත හැකි යන්ත්‍රණයක් අපට අවශ්‍යයි.

මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය, ශෙහාන් සේමසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් (වැ.බ) උපුල් ජයවර්ධන, දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ සභාපති දේශීය ආදායම් කොමසාරිස් එම්. ඒ ප්‍රියංක මහත්වරුන් සහ දේශීය ආදායම් නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරුන්, ජ්‍යෙෂ්ඨ කොමසාරිස්වරුන් හා කොමසාරිස්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT