Home » මත්ද්‍රව්‍ය සහ පාතාලය මඬින වැඩපිළිවෙළට ජනපතිගේ සහාය දිගටම

මත්ද්‍රව්‍ය සහ පාතාලය මඬින වැඩපිළිවෙළට ජනපතිගේ සහාය දිගටම

by mahesh
December 22, 2023 1:00 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

මත්ද්‍රව්‍ය සහ පාතාලය මඬින වැඩපිළිවෙළට ජනාධිපතිවරයාගේ සහයෝගය සහ ආශීර්වාදය අඛණ්ඩව ලැබෙන බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පැවසීය. ප්‍රජා පොලිස් කමිටු සවිබල ගැන්වීම, මත්ද්‍රව්‍ය සහ පාතාලය මැඬ පැවැත්වීමේ මෙහෙයුම් පිළිබඳ දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහනකට එක්වෙමින් ඇමැතිවරයා මේ අදහස් පළ කළේය.

එහිදී තවදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසීය.

Òවසර එකහමාරකට පෙර කොළඹ නගරයට යෑමට පවා නොහැකි, ඉතාමත් අභියෝගාත්මක කාලයක මේ අමාත්‍යාංශයේ වගකීම භාර ගැනීමට අපට සිදු වුණා. ඊට ටික දිනකට පසු රටේ නායකත්වයේ ද වෙනසක් වුණා. අනතුරුව පත් වූ වත්මන් ජනාධිපතිටත්, විෂය භාර ඇමැතිටත් මටත් රටේ නීතිය සහ සාමය ආරක්ෂා කිරීම සඳහා විශාල වගකීමක් පැවරුණා.

රටේ ආර්ථිකය සම්බන්ධව විශාල අභියෝගයක් ද පැවතුණා.

එවකට නිදහසේ මාර්ගයක ගමන් කිරීමට පවා නොහැකි කෝලහල තත්ත්වයක් රටේ පැවතියා. තැන තැන විවිධ නම්වලින් ගම් පිහිටුවා ගනිමින් නොයෙකුත් ක්‍රියාකාරකම් සිදු වුණා. ඒ තත්ත්වය වෙනස් කරමින් ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට ගේන්න අවශ්‍ය තීරණ ගැනීමට අපට සිදු වුණා. ඒ පිළිබඳව ජනාධිපති සමඟ කළ සාකච්ඡාවලදී එතුමාගේ අදහස වූයේ ද කඩිනමින් කළ යුත්තේ එය බවයි. ඒ වෙනුවෙන් ගන්නා ඕනෑම පියවරක් සම්බන්ධව අවශ්‍ය සම්පූර්ණ සහයෝගය ලබාදීමට එතුමා පොරොන්දු වුණා. ඒ අනුව වත්මන් පොලිස්පතිතුමා ද දැනුවත් කර පැය 48ක කාලයක් ලබාදී නීති විරෝධීව රැඳී සිටි පිරිස් ඉවත් කිරීමට පියවර ගන්නා බව නිවේදනය කිරීමට අප කටයුතු කළා. එලෙස ආරම්භ කළ වැඩපිළිවෙළ අනුව පැවති වාතාවරණය සම්පූර්ණයෙන් වෙනස් කිරීමට අපට හැකියාව ලැබුණා. එලෙස සිදු වූ වෙනස පිළිබඳ මුළු රටම දැනුවත්. ඉන් අනතුරුව අපට පැවැති දැවැන්තම අභියෝගය පාතාලය හා මත්ද්‍රව්‍යයි. මෑත කාලයේ ඇතැම් මාසවල දෛනිකව වෙඩි තැබීම්, ඝාතන වාර්තා වුණා. ඒ සියල්ලක්ම මත්ද්‍රව්‍ය හා සම්බන්ධයි.

මේ සියල්ල පිළිබඳ අවධානය යොමු කරමින් පසුගිය අගෝස්තු සැප්තැම්බර් මාසවල සිට නව සැලසුමක් සහ වැඩපිළිවෙළක් යටතේ ප්‍රජා පොලිස් කමිටු පිහිටුවීම ආරම්භ කරනු ලැබුවා. ඉන් අනතුරුව පසුගිය 17 වැනිදා සිට දකුණු පළාතෙන් මෙහෙයුම් ආරම්භ වුණා. එමෙන්ම ඒ සඳහා එක් වන ලෙස ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් සියලු දෙනාට ආරාධනා කිරීමට විශේෂ වැඩමුළු මාලාවක් ද ආරම්භ කළා.

ඒ සඳහා මුළු රටේම ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍යයි. අඛණ්ඩව මෙහෙයුම් කරමින් පාතාලය සහ මත්ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම මැඬ පැවැත්වීම අපේ අරමුණයි. එහිදී කිසිවකුගේ කිසිම බලපෑමකට යටත් නොවී ස්වාධීනව කටයුතු කිරීමට අප පියවර ගන්නවා. මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය පිළිබඳව කටයුතු ආරම්භ කිරීමත් සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රහාරවලට මුහුණදීමට අපට සිදුවී තිබෙනවා. මිනිසුන් ඝාතනය කිරීමට නියෝග දුන් බවටත් ප්‍රචාරයන් කර තිබෙනවා. මේ මෙහෙයුම් අතරතුර පොලිසියට එරෙහිව කිසිවකු ක්‍රියා කළහොත් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට පොලිසියට සිදුවන බව මා ප්‍රකාශ කළා. සෘජු තීරණ ගනිමින් කටයුතු නොකළොත් කිසිම දිනක මේ අභියෝගය ජයගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. අප සමඟ එක්වන ලෙස විවෘතව ආරාධනා කරන්නේ සියලු දෙනාගේම දූ දරුවන්, ඥාති හිතවතුන් මේ උවදුරෙන් ආරක්ෂා කර ගැනීමටයි. ඒ අනුව ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළින් පසුගිය දින කීපයේ විශාල සාර්ථකත්වයක් ලබා ගැනීමට හැකි වී තිබෙනවා. එහි විශේෂ ගෞරවය පොලිසියටත් විශේෂ කාර්ය බළකායටත් හිමිවෙනවා. කිසිදු බලපෑමකින් තොරව රාජකාරි ඉටු කිරීමට හැකිවීම නිලධාරීන්ට ද විශාල ශක්තියක්.

මීට පෙර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හෝ අපරාධකරුවකු අත්අඩංගුවට ගත් විට සිදු වූයේ කිසියම් බලවතකුගේ දුරකතන ඇමතුමකට හෝ බලපෑමකට නැවත ඔවුන් නිදහස් කිරීමයි.

ඉදිරියට එවැනි දේවල් සිදුවීමට කිසිසේත් ඉඩ ලැබෙන්නේ නැහැ. මේ මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ සතියකට පමණක් යන මතයක් ගොඩනැඟී තිබුණා. නමුත් අඛණ්ඩව මේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා පොලිසියට දී ඇති ඉලක්කය ජුනි 30 වැනිදා දක්වා පමණයි. ඒ වන විට සම්පූර්ණයෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාලය මර්දනය කළ යුතුයි. නමුත් වැඩ බලන පොලිස්පතිගේ ඉලක්කය මාස තුනකින් මේ මෙහෙයුම සම්පූර්ණ කිරීම බව ප්‍රකාශ කර තිබෙනවා. මෙවැනි කාර්යක් කිරීමේදී විවිධ අභියෝගයන්ට,බාධකවලට මුහුණදීමට සිදු වෙනවා. මේ වන විටත් ඇතැම් නීතිඥවරුන් මේ පිළිබඳ කලබල වී තිබෙනවා. නමුත් අපේ රටේම ඇතැම් නීතිඥවරුන් මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු භාර ගැනීමට නොහැකි බව ප්‍රකාශ කරනවා. අතලොස්සක් පමණක් මිලියන ගණන් මුදල් ගනිමින් ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. ඕනෑම නීතිඥයකුට ඕනෑම නඩුවකට පෙනී සිටීමේ අයිතිය තිබෙනවා. නමුත් එය සදාචාරාත්මක ද යන්න විමසා බැලිය යුතුයි. වත්මන් වැඩ බලන පොලිස්පතිවරයා පත් කිරීමේදී ද ඊට විරුද්ධව විවිධ පාර්ශ්වයන්ගෙන් විශාල පීඩනයක් පැවතුණා. ඒ පිළිබඳව කරුණු පරීක්ෂා කිරීමේදී පැහැදිලි වූයේ ඉන් බහුතරයක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් බවයි.

විවිධ මාධ්‍ය හමු පවත්වමින් ප්‍රහාර එල්ල කරනවා. නමුත් කවුරුන්, මොන ආකාරයේ ප්‍රහාර එල්ල කළත් ඉදිරියට තැබූ පය නැවත පසුපසට නොගන්නා බව මා අවධාරණය කරනවා. මේ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ ගැන ජනාධිපතිගේ ආශිර්වාදය සැමවිටම පවතිනවා. එමෙන්ම මේ වැඩපිළිවෙළ පිළිබඳව විශාල විශ්වාසයක් එතුමාගේ තිබෙනවා. ජනාධිපතිගේ කාර්ය මණ්ඩලයේ සහ ත්‍රිවිධ හමුදාවේ විශාල සහයෝගයක් ද අපට ලැබෙනවා.

ඒ ආකාරයෙන්ම ප්‍රජා පොලිස් කමිටුවල සහයෝගය ද අඛණ්ඩව අපට ලැබෙනු ඇති බව මා විශ්වාස කරනවා.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක,මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක, වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්වරුන් ද, විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරීන්, පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT