සිරි රණසිංහ කියන මාධ්‍යවේදියා කරපු මේ වික්‍රමය ලේසි පහසු වැඩක් නම් නොවෙයි
මාධ්‍යවේදියා කියන්නේ සමාජයත් ජනමතයත් වටහාගෙන අනාගතය දකින පුද්ගලයාටයි
– ‘සිරි අසිරි’ උපහාර උලෙළේදී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර
වසර 33ක් අඛණ්ඩව කතුවර භූමිකාව කළ පුවත්පත් කලාවේදියෙක්
– රජරට සරසවියේ ජනසන්නිවේදන අංශයේ මහාචාර්ය සේන නානායක්කාර
නගරයට ගියත් ගම අමතක නොකළ පුද්ගලයෙක්
– විශ්‍රාමලත් විදුහල්පති අමර ගුණසේකර
මාධ්‍යවේදියා සෘෂිවරයකු නොවුණත් පවතින සමාජයත්, ජන විඥානයත් වටහා ගෙන අනාගතය දකින පුද්ගලයකු විය යුතු බවත් ඔහුගේ කාර්යභාරය විය යුත්තේ බුද්ධිමත් පුරවැසි සමාජයක් බිහිකිරීමක් බවත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතා පැවසීය.
ඒ මහතා ඒ බව පැවසුවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිරි රණසිංහ මහතාට උපහාර පිදීම නිමිත්තෙන් කොළඹ පදනම් ආයතනයේදී පෙරේදා (20) පැවති ‘සිරි අසිරි’ උපහාර උලෙළට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතා මෙසේද පැවසීය.
“සිරි රණසිංහයන් පුරා අවුරුදු 33ක් අඛණ්ඩව එකම පුවත්පතක කර්තෘ ධුරය හෙබවූවා. අවුරුදු 58ක් මාධ්‍ය ලෝකයේ සැරිසැරුවා. ඒ වගේම අවුරුදු 17ක් තමන්ගේ පත්‍රය ලංකාවේ ජනප්‍රියතම පුවත්පත බවට පත් කළා. ඒ වගේම ඔහු දවස ගානෙම මැතිවරණයකට මුහුණ දෙනවා. මේ පත්තර අතර තමන්ගේ පත්තරය ජයග්‍රාහී පත්තරයක් බවට පත් කර ගැනීම ගැන ඡන්දයක් විමසනවා. හැමදාම ජන මතය විමසනවා. පත්තරයේ අලෙවිය වැඩි නම් රණසිංහ මහතාට වැඩිම ඡන්ද ගානක් ලැබී තිබෙනවා. හොඳම ප්‍රතිඵල ලැබී තිබෙනවා. මේ නිසා දවස ගානෙම ජනමත විමසීමකට මුහුණ දීලා ජයග්‍රහණය කරනවයි කියන එක ලේසි පහසු කටයුත්තක් නෙමෙයි.
ජනතාවගේ හද ගැස්ම වෙනස් වෙන හැටි තේරුම් අරගෙන ඊට අනුරූපව, අනුගතව පුවත්පතක් නිර්මාණය කරනවා කියන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. ඔවුන්ගේ හද ගැස්ම හරියට හඳුනා ගත්තේ නැත්නම්, ඒ නාඩි හරියට තේරුම් ගත්තේ නැත්නම් මේ පුවත්පත මේ විදියට පවතින්නේ නැහැ. මේ නිසා ලංකාදීප පත්‍රය අවුරුදු 17ක් සිංහාසනාරූඪ කරලා තියාගන්න පුළුවන් වුණේ සිරි රණසිංහ මහතාට මාධ්‍ය කුසලතාව, නිපුණත්වය හා සමබර මනසක් තිබෙන නිසයි. එතුමා කිසිම වෙලාවක කිසිම පැත්තකට බර වෙන්නෙ නැතිව සමබරව, මැදහත්ව තමන්ගේ පත්තරය පවත්වාගෙන ගියා.
ඒ පත්තරය ජනතාව පිළිගන්නේ හැම පක්ෂයකම පත්තරයක් විදියටයි. හැම දේශපාලනඥයාගේම පත්තරයක් විදියටයි. හැම ඡන්දදායකයාගේම පත්තරයක් හැටියටයි. ඒක ලේසි වැඩක් නෙමෙයි. සමබර මනසක් පවත්වාගෙන යන්න පුළුවන් නම් තමයි ඒ සමබරතාවත් පවත්වා ගන්න පුළුවන් වෙන්නේ. ඒක ජන්ම උරුමයෙන් ලැබුණු ප්‍රඥාවක් වගෙයි. ගමේකමින් ලැබුණු ගැමි අල්පේච්ඡ සහ නිවැරැදිව හිතන්න පුළුවන් ශක්තියක් වගෙයි. ඔහුගේ මවුපියන්ගේ ජානවලින් ලැබුණු වටිනාකම් පද්ධතියක්. මේ සියල්ලේ එකමුතුවෙන් තමයි සිරි රණසිංහ කියන මේ සුවිශේෂ, ප්‍රවීණ, කෘතහස්ත මාධ්‍යවේදියා බිහිවෙන්නේ.
මාධ්‍යවේදියා අනාගතය පිළිබඳ මනසක් ඇති ප්‍රබුද්ධ නායකත්ව ලක්ෂණවලින් යුක්ත පුද්ගලයෙක්. අගතියෙන් තොර මැදහත් ජනතා හිතවාදියෙක්. ජාතීන් වශයෙන් හෝ ආගම් වශයෙන් භේදභින්න නොකරන, කුල මල ගෝත්‍ර වශයෙන් මිනිසුන් කුලල්කා ගැනීමෙන් වළකන, දේශපාලන වෛරීභාවයට ගොදුරු වීමේ අවදානම වටහා ගෙන ධනය විසින් බෙදනු ලබන පන්ති පරතරය නිසා සිදුවන අසාධාරණකම් දකින ඊට අනුගත නොවෙන පුද්ගලයෙක් විය යුතුයි. ඒ වගේම අපි දන්නවා සමාජය අද සංස්කෘතික මුල් බිඳිච්ච පාවෙන සමාජයක් බවට පත් වෙලා තිබෙන බව. ආගමෙන් දහමෙන් ශික්ෂණයක් නොලබපු පාවෙන සමාජයක් බිහි වෙලා තිබෙනවා. ඒක ඉතාම භයානකයි. මුල් නැති සමාජයක්. මේ නිසා පුවත්පත් කලාවේදියෙක් හැම වෙලේම අපේ සංස්කෘතියේ මුල් සිඳීයෑම වළකාලිය යුතුයි. ඒ සඳහා සංස්කෘතික ශික්ෂණයෙන් යුත් විනයගරුක සමාජයක් බිහිකිරීමේ නොනවතින ප්‍රයත්නයක යෙදිය යුතුයි. කොටින්ම මාධ්‍යවේදියා එක්තරා ආකාරයක සමාජ ශෝධකයෙක්, සමාජ ප්‍රතිසංස්කරණවාදියෙක්, ජනහිතකාමියෙක් විය යුතුයි.
සිරි රණසිංහ කියන මේ මාධ්‍යවේදියා මේ කරපු වික්‍රමය ලේසි පහසු වැඩක් නෙමෙයි. අද යුගයේ ජයග්‍රාහීම පුවත්පත් කලාවේදියා තමයි මේ දශක ගණනාවෙම ලංකාවේ කිසිම කාලෙක ‘සරසවි සඳරැස’ පුවත්පතේ ඉඳලා මේ වනතුරු පුවත්පතක මේ සා දීර්ඝ කාලයක් සේවය කරපු කර්තෘවරයෙක් නැහැ. මේ වගේ දීර්ඝ කාලයක් ජනප්‍රියතම පුවත්පත විදියට සිහසුන්ගත කර තබා ගන්න පුළුවන් වෙච්ච පත්තරයක් නැහැ. ඒ වගේම අවුරුදු 83ක් වෙනකම් පුවත්පත් කලාවේදියෙක් හැටියට සක්‍රීයව කටයුතු කරපු කර්තෘවරයෙකුත් නැහැ. ඒ නිසා සිරි රණසිංහ මහත්තයා ඓතිහාසිකයි” යනුවෙන් පැවසීය.
තිරිකුණාමලේ ආනන්ද මහ නාහිමි – “ඉතාම වටිනා පින්කමකට අපි අද රැස්ව සිටිනවා.වසර 58ක් පුරා වගේම වසර 33ක් ලංකාදීප පුවත්පතේ කතුවරයා වශයෙන් කටයුතු කළ සිරි රණසිංහ මහතාට උපහාර පිරිනැමීම වෙනුවෙන් අප අද රැස්වී සිටිනවා. ඒ මහතාට ආශිර්වාද කරනවා. මේ වෙලාවේ එතුමා මොලොවට බිහිකළ මවුපියන්ටත් පින් අනුමෝදන් කරනවා. එතුමාගේ ගමන් මඟට එළියක් දුන් ගුරුවරුන්ටත් අපි පින් අනුමෝදන් කරනවා. මාධ්‍ය ලෝකයේ මෙවැනි ගමනක් එන්න සත්පුරුෂ පරිසරයක් නිර්මාණය කළ රංජිත් විජයවර්ධන මහතාටත් සුබ පතනවා. අපේ සංස්කෘතියේ කියමනක් තිබෙනවා සත්පුරුෂයාගේ සහ අසත්පුරුෂයාගේ ප්‍රභේද කීපයක් තිබෙනවා. සත් පුරුෂයා තමන්ගේ ශක්තිය, ඥානය, ධනය පාවිච්චි කරන්නෙත් අසත්පුරුෂයා ඒවා පාවිච්චි කරන්නේ වෙනස් විදියකටයි. සත්පුරුෂයා තමන්ගේ ධනය පාවිච්චි කරන්නේ අනුන් ආරක්ෂා කරන්නයි. තමන්ගේ ඥානය පාවිච්චි කරන්නෙත් අනුන් වෙනුවෙන්. අනුන්ට පරිත්‍යාග කිරීම් කරනවා.
අසත්පුරුෂයා තමන්ගේ ශක්තිය පාවිච්චි කරන්නේ වෙනස් විදියකටයි. ඒ වගේම අනුන් පීඩාවට පත් කරන්න විවිධ දේ පාවිච්චි කරනවා. තමන්ගේ ධනය පාවිච්චි කරන්නේ ලෝකයා විනාශ කරන්නයි. අසත්පුරුෂයා මේ කාරණා පාවිච්චි කරන්නේ සමාජයට ප්‍රතිවිරුද්ධ ආකාරයෙනි. සිරි රණසිංහ මහතා ගත් විට තමන්ගේ ඥානය,ධනය,ශක්තිය පාවිච්චි කර තිබෙන්නේ සත්පුරුෂ කාරණාවලටයි. රණසිංහ මහතා අප සමීපයෙන්ම හඳුනාගෙන සිටිය ද ඒ මහතාගේ බෑනා මඟින් සමීපව හඳුනා ගන්න ලැබුණා. එතැන් පටන් එතුමාගේ ගුණ, ආකල්ප වටහා ගන්න හැකියාව ලැබුණා. එවැනි සත්පුරුෂයකු පැවිදි අපටත් ඇසුරු කරන්න ලැබීම භාග්‍යයක් ලෙස දකිනවා. ඒ මහතා මාධ්‍ය ලෝකයේ විශිෂ්ටයකු ලෙස හඳුන්වන්න පුළුවන්. වසර 33ක් ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කතුවරයා වශයෙන් කටයුතු කරනවා. ඒ හැම අංශයකදීම එතුමා දැක්වූ නිපුණතාව, පරිචයන්, සුහද ආකල්ප පුවත්පත් කලාවේ හැම අයෙකුම ස්පර්ශ කර තිබෙනවා.
අන්තර්ජාතික වශයෙන් පිළිගත් මතයන්ට අනුව හොඳ නායකයකුගේ ලක්ෂණ පිහිටා තිබෙනවා. ප්‍රධානම කාරණය තමයි ස්වාධීනත්වය. සිරි රණසිංහ මහතා සැබවින්ම ස්වාධීන කෙනෙක්. ඒ ස්වාධීන මාධ්‍ය ඔස්සේ කටයුතු කර තිබෙනවා. සමබරව තොරතුරු බෙදා හරිනවා. මේ ස්වාධීනත්වය සිරි රණසිංහ මහතාගේ පත්‍ර කලාවේ සුවිශේෂ ලක්ෂණයක් ලෙස දකිනවා. හැඟීම්වලට වහල් වෙලා කටයුතු කරන්නේ නැහැ. යම් යම් අය හැඟීම්වලට යටපත් වෙනවා. නමුත් මෙතුමා එවැන්නකට යටත් වන්නේ නැහැ. ජනතා සුබසිද්ධිය අපි දකිනවා. ජනතාවගේ සුබසිද්ධිය ස්ථාපිත කරන්නත් පුවත්පත් ක්‍රියාකාරී විය යුතු වෙනවා. ඇතැම් පුවත්පත්වලින් යම් යම් සිද්ධි පුළුල් ලෙස විග්‍රහ කරනවා. ඇතැම් ඒවා හානිකර වෙනවා. නමුත් සංවේදී පුවතක් වුණත් අනවශ්‍ය සංවේදී බවකට පත් නොකර වාර්තාකරණය කළ යුතු වෙනවා. බොහෝ අය පුවත්පත්වල වගකීම දැනගත්ත ද ඒ වගකීම වෙනුවෙන් වගවීමක් නැහැ.ඇතැම් කර්තෘවරුන් වැරැදි පෙන්වා දුන් විට ඒවා භාර ගන්නේ නැහැ. නමුත් සිරි රණසිංහ මහතාට වරදක් පෙන්වාදුන් පසුව එය පිළිගන්නා තත්ත්වයක් අපි දකිනවා. සිරි රණසිංහ මහතා ඇතුළු පිරිසක් විසින් කර්තෘ සංසදය බිහි කළා. ඒ වෙනුවෙන් පුරෝගාමියකු වෙනවා. පත්‍ර කලාවේදීන්ගේ වෘත්තීයභාවය ආරක්ෂා කර දෙන්න ඒ මහතා කටයුතු කර තිබෙනවා. පුවත්පත් පැමිණිලි කොමිසමක් පිහිටුවා තිබෙනවා. එහි යම් යම් නියාමන තිබෙනවා. එය ආරම්භ කිරීමට පුරෝගාමියකු ලෙස සිරි රණසිංහ මහතා කටයුතු කර තිබෙනවා. සිරි රණසිංහ මහතා හොඳින් ඉවසන කෙනෙක්. එම ඉවසීමේ ජය ඒ මහතා ලබාගෙන තිබෙනවා. මේ පත්‍ර කලාකරුවන් මනා කළමනාකරණයට ඒ මහතා දක්වන දායකත්වය අගය කරනවා. ඒ වෙනුවෙන් හොඳ දක්ෂතාවක් ඒ මහතාට තිබෙනවා. ඒ මහතා අනුන් වෙනුවෙන් ඇහුම්කන් දෙනවා. හොඳ පුවත්පත් කලාවේදියෙක් වෙනවා. අව්‍යාජත්වය, ගැමිකම, බෞද්ධකම ඉතාම හොඳට ඒ මහතාගේ චරිතයේ නිදන්ගත වී තිබෙනවා. ගමට, ගමේ පාසලට, පන්සලට සලකනවා. මෙවැනි ගුණාංග නිසා සිරි රණසිංහ මහතාගේ ගුණාංග ඉතා හොඳින් වටහා ගන්න පුළුවන්.
ඒ මහතා කිසිදා දේශපාලනය වෙනුවෙන් කටයුතු කරන්නේ නැහැ. ස්වාධීනව කටයුතු කරනවා. ඒවා මැනවින් රැකගෙන තිබෙනවා. පත්‍ර කලාවේදීන්ට සංස්කාරක කියා වචනයක් පාවිච්චි කරනවා. පත්‍රයක කර්තෘ කෙනෙක් වෙන්න බැහැ සංස්කාරකවරයෙක් වෙන්න පුළුවන්. නමුත් රණසිංහ මහතා ඉතාම විශිෂ්ටත්වයෙන් සේවය කර තිබෙනවාÓ යැයි පැවසූහ.
විශ්‍රාමලත් විදුහල්පති අමර ගුණසේකර මහතා-
“වසර 140ක අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන පාසල් මාතාවට 1956 වසරේදී සිරි රණසිංහ මහතා භාර දෙනවා. ගුරුවරුන්ගේ මඟ පෙන්වීම මෙන්ම පාසල් කිහිපයක අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව සරසවි වරම් ලබාගෙන විදුදය සරසවියට ඇතුළත් වුණා. එම සරසවි අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව ඒ මහතාට රැකියා අවස්ථා දෙකක් උදා වුණා. එකක් ලංගම. අනෙක වුණේ ලේක්හවුස් ආයතනයේ මාධ්‍ය ක්ෂේත්‍රය. ලේක්හවුස් සේවය කරන සමයේ සිටම තමා මූලික අධ්‍යාපනය ලැබූ පාසල අමතක කළේ නැහැ. සෑම වසරකම ජනවාරි පළමුවැනිදා සුබපැතුම් පතක් ලියනවා. තමා ඉගෙන ගත් පාසල අමතක නොකළ ඒ යුග පුරුෂයා ගැන කතා කරන විට ගමේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලබාගෙන නගරයට ගොස් මුල අමතක නොකළ එකම පුද්ගලයා කියලයි මම හිතන්නේ. ඒ මහතාට අවශ්‍ය වුණේ තමා ඉගෙන ගත් පාසල දියුණු කරන්නයි.
ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාගෙන දෙයියන්දර මැදි විදුහල ජාතික පාසලක් බවට පත් කළා. ඒ පමණක් නොව මානව හා භෞතික සම්පත් රැසක් දුන්නා. විවිධ අවස්ථා වෙනුවෙන් පාසලට උදව් කළා. මේ සියලු දේ පාසල වෙනුවෙන් කළත් ඒ මහතාගේ නම යොදන්න කැමැති වුණේ නැහැ. තමන්ගේ නම ඉස්මතුවීමට කිසිම අවස්ථාවක කටයුතු කළේ නැහැ. වසර 300කට වඩා පැරැණි ගමේ විහාරස්ථානය ගැනත් අපි කතා කළ යුතු වෙනවා. විහාරස්ථානයේ ධර්ම ශාලාව, දහම් පාසල ඇතුළු සම්පත් රැසක් දියුණු කරන්න පියවර ගත්තා. දෙමහල් ගොඩනැඟිල්ලක් ඉදිකළා. රාජ්‍ය අනුග්‍රහය ලබාගෙන මාර්ගය සංවර්ධනය කළා. දර්ශනීය පෙරහරක් පවත්වන්නත් පියවර ගත්තා. එතුමාගේ මැදිහත්වීමෙන් රටේ ප්‍රකට විහාරයක් බවට පත් වුණා. ඒ වගේම ග්‍රාමීය රෝහල දියුණු කරමින් ප්‍රාදේශීය රෝහලක් බවට පත් කළා. මේ ගම්වල ඉන්නේ වැඩිපුරම දුප්පත් මිනිස්සු. ඒ නිසා රෝහල දියුණු කිරීම ඔවුන්ට විශාල සහනයක් වුණා. මේ සංවර්ධන කටයුතු නිසා දෙයියන්දර රෝහලට ඵලදායිතා සම්මානය දිනා ගන්නත් හැකියාව ලැබුණා. ඒ වගේම දෙයියන්දරට ඉන්ධන පිරවුම්හලක් ගන්නත් සිරි රණසිංහ මහතාට හැකියාව ලැබුණා. දෙයියන්දර උප තැපැල් කාර්යාලය පවත්වාගෙන යන්න ප්‍රධාන තැපැල් කාර්යාලයක් රජයේ ඉඩමක ස්ථිර ගොඩනැඟිල්ලක ස්ථාපිත කරන්න සහාය දුන්නා. මහේස්ත්‍රාත් උසාවියක් දෙන්නත් කටයුතු කර තිබෙනවා. දෙයියන්දර ජනාකීර්ණ නගරයක් වුණෙත් තිබුණේ පොලිස් මුරපොළක් පමණයි. නමුත් අංග සම්පූර්ණ පොලිස් ස්ථානයක් ඉදිකරන්නත් ඒ මහතාට හැකියාව ලැබුණා. ග්‍රාමීය අතුරු මාර්ග රැසක් සංවර්ධනය කිරීමට, අමුණු හා ඇළ වේලි සංවර්ධනය කරන්නත් කටයුතු කර තිබෙනවා. එතරම් විශාල සේවා රැසක් තමන්ගේ ගම වෙනුවෙන් ඉටුකරන්න සිරි රණසිංහ මහතා කටයුතු කර තිබෙනවා” යැයි පැවසීය.
රජරට විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ මහාචාර්ය සේන නානායක්කාර මහතා – “රණසිංහ මහතා පිළිබඳව හැදෑරීමෙන් වැටහුණ එක දෙයක් තමයි දීර්ඝව කතා කළ හැකි චරිතයක්. ඉතාම සද්භාවයෙන් මේ රටට සේවය කළ පුවත්පත් මාධ්‍ය කලා ක්ෂේත්‍රයට තමන්ගේ සුවිශිෂ්ට මෙහෙවරක් ඉටු කළ සැබෑ මනුෂ්‍යයෙක්. සියලු දෙනාම එක හෙළාම පිළිගන්නා කාරණයක් තමයි වසර 58ක් මේ ක්ෂේත්‍රයේ තමන්ගේ සේවාව ඉටු කර වසර 33ක් අඛණ්ඩවම කතුවර භූමිකාව අතිශය විශිෂ්ට ආකාරයෙන් ඉටු කළ කෘතහස්ත පුවත්පත් කලාවේදියෙක්.
සිරි රණසිංහයන් 1965 ලේක්හවුස් ආයතනයට යන විට එතුමන්ට මුණගැහෙන්නේ රංජිත් විජයවර්ධන මහතා. මේකෙ විස්මය දනවන කාරණය කියන්නේ 1991 සැප්තැම්බර් මාසේ 11 වැනිදා ලංකාදීපයේ මහා මෙහෙවර පවරන්නේ රංජිත් විජයවර්ධන. මේවා දෛවෝපගත සිදුවීම්. මේ කාලාන්තරය තුළ එතුමන් පුවත්පත් කලාවට වගේම ලාංකික ජන සමාජයට ඉටු කරපු ඒ සුවිසල් මෙහෙවර අතිශය ප්‍රශස්තයි කියන හැඟීම තමයි අපට මේ වෙන විට තියෙන්නේ” යැයි පැවසීය.
හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, හිටපු කථානායක කරු ජයසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, මහාචාර්ය ජී.එල්.පීරිස් මහත්වරුන් ඇතුළු දේශපාලනඥයන් මෙන්ම මාධ්‍ය ආයතන ප්‍රධානීන්, ප්‍රවීණ මධ්‍යවේදීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.