Home » වෙරළ සම්පත් ආරක්ෂාවට සහ කළමනාකරණයට පස් අවුරුදු සැලැස්මක්

වෙරළ සම්පත් ආරක්ෂාවට සහ කළමනාකරණයට පස් අවුරුදු සැලැස්මක්

by mahesh
December 22, 2023 12:51 am 0 comment

උපාලි කරුණාරත්න

වෙරළ සම්පත් ආරක්ෂා කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා වන පස් අවුරුදු සැලැස්ම (2024-2029) ප්‍රකාශයට පත්කරමින් එය බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පෙරේදා (20) නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතාට පිළිගන්වනු ලැබීය.

වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ පනතේ නීති ප්‍රකාරව, වෙරළ සම්පත් ආරක්ෂා කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා සැලැස්මක් සැකසීම වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවට පැවරී තිබේ.

වෙනස් වන තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් සෑම වසර පහකටම වරක් එම සැලැස්ම යාවත්කාලීන කළ යුතුයි. මෙරට අවසන් වතාවට වෙරළ සම්පත් ආරක්ෂා කිරීම සහ කළමනාකරණය කිරීමට සැලැස්මක් පිළියෙල කළේ 2018දීය. එම සැලැස්ම යාවත්කාලීන කරමින් ඉදිරි වසර පහ සඳහා වන (2024-2029) වෙරළ සම්පත් ආරක්ෂා කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා වන මේ සැලැස්ම පිළියෙල කර තිබේ.

ඇමැතිවරයාට ඉදිරිපත් කළ මේ සැලැස්ම ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ගැනීමට නියමිතය. අනුමැතිය ලැබීමෙන් පසුව එය ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

ඇමැතිවරයා මේ පිළිබඳව වැඩිදුරටත් මෙලෙස අදහස් දැක්වීය.

“ඉදිරියේදී වෙරළ කලාපයේ පවතින ජෛව සහ භෞතික සම්පත් වඩාත් ඵලදායි ලෙස රටේ සංවර්ධන කාර්යයට දායක කර‍ගැනීමට හැකියාව ලැබෙන පරිදි මෙරට වෙරළ පරිසරය උපරිම අයුරින් ආරක්ෂා කිරීමට ක්‍රියා කරනවා. සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් සමුද්‍ර සම්පතින් රට ගොඩනඟන ආකාරය සම්බන්ධයෙන් ගැඹුරින් සිතා බැලිය යුතුයි. රට වටා පිහිටි මුහුද සහ වෙරළ පරිසරය නිසි පරිදි කළමනාකරණය කරගැනීමෙන් මේ ආර්ථික අර්බුදය ජය ගත හැකියි. අදාළ රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධවී ඒ සඳහා වන සැලසුම් සැකසීම මේ වන විටත් ආරම්භ කර තිබෙනවා.”

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලියු. එස්. සත්‍යානන්ද, ශ්‍රී ලංකා වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්. ඒ. එස්. රණවක මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT