Monday, April 21, 2025
Home » රත්මල්දෙණිය විජය නන්දනාරාමයේ උඳුවප් මහ පෙරහර හෙට

රත්මල්දෙණිය විජය නන්දනාරාමයේ උඳුවප් මහ පෙරහර හෙට

by mahesh
December 22, 2023 12:50 am 0 comment

රත්මල්දෙණිය විජය නන්දනාරාම විහාරස්ථානය 22 වරටත් සංවිධාන කරන උඳුවප් මහ පෙරහර හෙට (23) රාත්‍රී වීදි සංචාරය කෙරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

පෙරහර වූ කලී ලක්දිව බෞද්ධ ශිෂ්ටාචාරයේ අභිමානය ලොවට පෙන්වන කැඩපතකි. සම්බුද්ධ පාද ස්පර්ශයෙන් නිර්මල වූ ලංකා ධරණි තලය ශ්‍රේෂ්ඨ සංස්කෘතියකට හිමිකම් කියන්නේ මීට වසර දෙදහස් පන්සියයකට පෙර සිදු වූ මහින්දාගමනයත්, දුමින්දාගමනයත් යන අසිරිමත් සිදුවීම් මුල්කරගෙනය.

එකල සමාජයෙහි යුග පෙරළියක් සිදු වෙමින් ජනී ජනයාගේ සිතුම් පැතුම් බොදු මුහුණුවරකින් සකස්වී රජ මැඳුරේ සිට දුගී පැල්පත දක්වා බුදු පහනින් ආලෝකවත් වන්නට විය. එම ප්‍රෞඩ ඉතිහාසය, සංස්කෘතිය, ශිෂ්ටාචාරය අභිමානවත් ලෙස ලොවට විදහා පාන බෞද්ධ කලා මංගල්‍යයක් ලෙස පෙරහර සංස්කෘතිය හැඳින්විය හැකිය.

ඒ අතර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලක්දිවට වැඩමවීමත්, භික්ෂුණී ශාසනය ආරම්භයත් සනිටුහන් කරවන උඳුවප් පෙරහරට බෞද්ධ සංස්කෘතිය තුළ හිමි වන්නේ අද්විතීය ස්ථානයකි.

වර්තමානයෙහි ලක්දිව ප්‍රධාන විහාරස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ජාතික මට්ටමින් පවත්වන පෙරහර අතරට රත්මල්දෙණිය උඳුවප් පෙරහර ද පත්වීම ශ්‍රී ලංකාවාසී ජනතාවට මහත් ආශිර්වාදයකි. මීට වසර 22කට පමණ පෙර කුඩා පෙරහරක් ලෙස ආරම්භ වූ උඳුවප් පෙරහර දැනට වසර 10ක පමණ සිට සියලුම අංගෝපාංගවලින් සුසැඳි මනහර සංස්කෘතික කලා මංගල්‍යයක් ලෙසින් විරාජමානව පැවතගෙන එයි.

රත්මල්දෙණිය ශ්‍රී විජයනන්දනාරාමය වූ කලී බස්නාහිර පළාතේ කොට්ටාවත්, පන්නිපිටියත් අතර මනරම් පෙදෙසක සුපිහිටි සියලු අංගෝපාංගවලින් සමන්විත වූ පුණ්‍ය භූමියකි. ප්‍රදේශයේ බෞද්ධ ජනතාවගේ චිත්ත පාරිශුද්ධියත්, ආධ්‍යාත්මික ගුණ වගාවත් පෝෂණය කරන පොදු ජනයා නිවන් මඟෙහි ගමන් කරවන කේන්ද්‍රස්ථානයක් ලෙසින් ද මේ පින්බිම පවතී.

මීට වසර හතළිහකට පමණ පෙර මාදම්පේ සිරි ජිනසිරි නාහිමිපාණන් වහන්සේ විසින් ‘ආවාසේ පන්සල’ නමින් කුඩාවට ගොඩනැඟූ මේ විහාරස්ථානය වර්තමානයේ දර්ශනීය සුවිසල් විහාරස්ථානයක් ලෙස ප්‍රදේශය පුරා බෞද්ධ ජනතාවගේ ආගමික කටයුතු ඉෂ්ට සිද්ධ කර දෙන පුණ්‍ය භූමියක් ලෙසින් චිත්තාකර්ෂණීය ලෙස විරාජමානව පවතී. එසේම වාර්ෂිකව උඳුවප් මහ පෙරහර පවත්වමින් ලංකාවාසී ජනතාවට බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරවමින් කටයුතු කරයි. මේ දියුණුවෙහි පුරෝගාමී නියමුවාණන් බවට පත් වන්නේ සම්මාන විහාරාධිපති ධුරයෙන් පිදුම් ලැබූ හිටපු සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ශාස්ත්‍රපති දොඩම්ගොඩ පියසිරි නායක ස්වාමීන් වහන්සේය.

උන්වහන්සේ ප්‍රධාන අනුශාසකත්වය දෙමින් විහාරස්ථානයේ උන්නතියට කැපවී ක්‍රියා කරන අතර, වත්මන් උඳුවප් මහ පෙරහරෙහි නිර්මාතෘන් වහන්සේ ලෙසින් ද කටයුතු කරයි. එසේම උන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය රත්නය වන රත්මල්දෙණිය ශ්‍රී විජයනන්දනාරාමාධිපති, බත්තරමුල්ල බටපොත ශ්‍රී සුදර්ශන විද්‍යාලයෙහි විදුහල්පති, ශාස්ත්‍රපති පිඩලිගන්නාවෙල පඤ්ඤාසීහ හිමිපාණන් වහන්සේ ද, තත් වෙහෙර වැසි කොළඹ නාලන්දා විද්‍යාලයෙහි ධර්මාචාර්ය ශාස්ත්‍රපති කැලණියේ ඥානසිරි හිමිපාණන් වහන්සේ ද, නුගේගොඩ, ගංගොඩවිල සුභද්‍රාරාම විද්‍යායතනයෙහි මූලික පිරිවෙනෙහි නියෝජ්‍ය පරිවේනාධිපති ශාස්ත්‍රවේදී වැලිපත සිරිවංස හිමිපාණන් වහන්සේ ද, කොටුවේගෙදර සිරිරතන හිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නය ද මේ කටයුතු මෙහෙයවමින් නායක මාහිමිපාණන් වහන්සේට සුවිසල් ශක්තියක් වෙමින් කටයුතු කරයි.

රත්මල්දෙණිය උඳුවප් මහ පෙරහර ලංකා ඉතිහාසයේ ආගමික සංසිද්ධි ආවර්ජනය කරවන කලා මංගල්‍යයක් මෙන්ම ස්වභාව දහමේ සංසිද්ධි අර්ථවත් කරන කලා අංගවලින් සමලංකෘත සංස්කෘතික දායාදයකි.

22 වන වරටත් හෙට (23) රාත්‍රි 8.00ට පන්නිපිටිය තරුණ බෞද්ධ සංගම් මූලස්ථානයෙන් ආරම්භ වන මේ උඳුවප් මහ පෙරහර කොස්ගහහේන, රත්මල්දෙණිය, පැලැන්වත්‍ත, ඈඟුලවත්ත මාර්ගය ඔස්සේ විහාරස්ථානයට ගෙවදීමට නියමිතය. එසේම වෙහෙර වැසි මහ සඟ රුවනටත් සතර පේරුවේ දායක දායිකාවන්ටත් මේ සඳහා නන් අයුරින් සහයෝගය දෙන සියලු දෙනාටත් සෙත් ශාන්තිය ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් සිදු කරන දේව දානය හා ගරායක් ශාන්ති කර්මයෙන් මේ සියලු කටයුතු නිමාවට පත්වනු ලබයි.

ගෞතම බුද්ධ රාජ්‍යයේ මහා කලා මංගල්‍යය බවට පත් වූ රත්මල්දෙණිය උඳුවප් මහ පෙරහර තව චිරාත් කාලයක් ලක්වැසි ජනතාවට දායාද කරන්නට නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත්, පෙරහර කමිටුවටත්, අනුග්‍රහය දක්වන සියලු දෙනාටත් ශක්තිය ධෛර්යය වාසනාව උදාවේවා.

කොට්ටාව ධර්මපාල මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති උඳුගොඩ සිද්ධත්ත හිමි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT