ඩෙංගු මඩින්නට නීති තිබුණත් ජනතාව දැනුවත් කරමින් ජනතාව සම්බන්ධ කරගනිමින් ඩෙංගු පාලනය කිරීම වැදගත් බවත්, මෙය බහුපාර්ශවීය කටයුත්තක් වන බැවින් මාධ්‍ය ඇතුළු සියළු දෙනාගේම සහාය මේ සදහා අවශ්‍ය වන බවත් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය කරයි.
අමාත්‍යවරයා මේ බව අවධාරණය කරන ලද්දේ, අද දින (21) බස්නාහිර පළාතේ ක්‍රියාත්මක ඩෙංගු මදුරු මර්දන හා පාලන වැඩසටහන් වලට අදාලව බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ, වල්පොල හා කලපළුවාව ග්‍රාම නිලධාරී වසම් වල ක්‍රියාත්මක කරන ලද විශේෂ ඩෙංගු මදුරු මර්දන වැඩසටහන නිරීක්ෂණට එක් වෙමිනි.
බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ වල්පොල හා කලපලුවාව ග්‍රාම නිලධාරී වසම් වල ඩෙංගු රෝගීන් වාර්තා වීමේ යම් වර්ධනයක් පෙන්නුම් කරන හෙයින් මෙම විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන සංවිධානය කර තිබුනි. එහිදි නිවාස, වැඩබිම්, ආගමික ස්ථාන, රාජ්‍ය ආයතන, ඉඩම් වැනි ක්ෂේත්‍ර පරීක්ෂාවට ලක්කරමින් ජනතාව දැනුවත් කිරීම, මදුරු කීටයින් සහිත ස්ථාන විනාශ කිරිම හා මදුරු කීටයින් බෝවිය හැකි ස්ථාන හදුනා ගෙන ඊට පිළියම් යෙදිම මෙහිදී සිදුවිය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ, කීට විද්‍යා නිලධාරින්ගේ පුර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වු මෙම වැඩසටහනේ දී, කණ්ඩායම් 8 ක් වශයෙන් බෙදී ක්ෂේත්‍ර පරීක්ෂාව හා මදුරු මර්දනය සදහා කටයුතු කරන ලදි.
මදුරු කීටයින් විනාශ කිරිම සදහා ලඟාවිය නොහැකි ස්ථාන සදහා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනිමින් මදුරු කීටයින් විනාශ කිරිමට යොදා ගන්නා දියර ඉසීම ද මෙහිදී සිදු වූ අතර, මෙතෙක් ක්‍රියාත්මක කරන ලද මදුරු මර්දන වැඩසටහන් පිළිබද සමාලෝචන රැස්වීමක් ද සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්ත්වයෙන් පැවැත්විය.