Home » විශේෂ අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් දෙපාර්තමේන්තුවක්

විශේෂ අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් දෙපාර්තමේන්තුවක්

by chanaka
December 21, 2023 12:56 pm 0 comment

මෙරට පාසල් පද්ධතියට පුහුණු ගුරුවරුන් යොමු කිරීම වෙනුවෙන් ස්ථාපිත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සියල්ල ම එක් කොට අධ්‍යාපනවේදී උපාධි ලබා දීම වෙනුවෙන් ම ඉදිරියේ දී ස්ථාපනය කෙරෙන ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලය තුළ විශේෂ අධ්‍යාපනය වෙනුවෙන් වෙනම දෙපාර්තමේන්තුවක් පිහිටුවීමට අපේක්ෂා කරන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය‍.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාමුව තුළ විශේෂ අධ්‍යාපන ක්ෂේත්‍රය එක් ප්‍රධාන අංශයක් වන බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ ‍කළේ, විශේෂ අධ්‍යාපන තක්සේරුකරණය පිළිබඳ චක්‍රලේඛය හා උපදෙස් සංග්‍රහය එළිදැක්වීමත්, කලාප මට්ටමේ විශේෂ අධ්‍යාපන තක්සේරුකරණ කමිටු පිහිටුවීම සහ අන්තර්කරණ අධ්‍යාපනය කරා ගුරු මාර්ගෝපදේශ සංග්‍රහය එළිදැක්වීමත් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති උත්සවයට එක්වෙමිනි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

කහතුඩුවේ වෙනිවැල්කොළ පිහිටි විශේෂ අධ්‍යාපන සම්පත් මධ්‍යස්ථානයෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්න ඕන. ඉතා කුඩාම අවධියේ දී ම දරුවන්ගේ විශේෂ තත්වයන් වෙතොත් හදුනාගැනීමට දියුණු රටවල තාක්ෂණය භාවිත කරමින් සකස් කළ විශේෂ ක්‍රමවේද තියෙනවා. අපේ රට තුළ තවමත් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් කල්තියා හදුනා ගැනීමේ ප්‍රමාදයන් තියෙනවා. මේ ක්ෂේත්‍රයට එය විශාල බලපෑමක්. මේ වෙනකොට ඕස්ටේ්‍රලියාව වගේ රටවල්වල කථන සහ ශ්‍රවණ ආබාධ තියෙන කිසිම දරුවෙක් නෑ. අපිත් ඒ තත්වයට අදියරෙන් අදියර ළගා විය යුතුයි…’ බව පැවසීය. එමෙන්ම විශේෂ අවශ්‍යතා සහිත දරුවන් පිළිබඳ සමාජමය සංස්කෘතිමය වශයෙන් මෙරට අභියෝග රැසක් පවතින බව ද, ඔවුන් වෙනුවෙන් මීට වඩා අවධානය ලබා දිය යුතු බව ද, පසුගිය වර්ෂ කිහිපය තුළ මෙරට ළදරු උපත් අනුපාතිකය අඩුවෙමින් පවතින වාතාවරණයකදීත් ඉපදෙන දරුවන්ගෙන් 6,000-8,000ක් අතර පිරිසක් වසරකට විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වන බව ද, විශේෂ දරුවන් අන්තර්කරණ අධ්‍යාපනයට යොමු කිරීම වෙනුවෙන් ගුරුවරුන්, සමාජය හා පාසල, පන්තිකාමරය සූදානම් කළ යුතුව පවතින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

ලොව බොහෝ රටවල් අතර අන්තර්කරණ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළ සාර්ථකත්වයක් ලබා සිටින සිංගප්පූරුවේ මේ වෙනුවෙන් ‍ගුරුවරුන් පුහුණු කරන වෙනම ආයතන පවත්නා බවත්, විශේෂ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉදිරි ගුරු පුහුණු කටයුතු සඳහා සිංගප්පූරු රජයේ සහාය ලබාගැනීමට තමා අපේක්ෂා කරන බවත් ප්‍රකාශ කළ අමාත්‍යවරයා, ඉදිරියේ දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත්වීම ද ලබාගනිමින් විශේෂ දරුවන් කල් තියා හඳුනාගැනීමට ඒ සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන්ට පැමිණිය හැකි, වෙනම ආයතනයක් පිහිටුවීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය. එමගින් මූලික අවස්ථාවේදී ම හදුනාගෙන ප්‍රතිකාර ලබාදෙන දරුවන් සාමාන්‍ය පරිදි පළමු ශ්‍රේණියේ සිට ම පාසල් වෙත ඇතුළත් කිරීමට අවස්ථාව සලසා දිය හැකි බව ද පැවසූ අමාත්‍යවරයා, සමාජමය, ආර්ථික හා පෞද්ගලික හේතු මත තොරතුරු සඟවාගෙන සිටින, තොරතුරු වාර්තා නොවන පාසල් යැවිය යුතු වයසේ පසුවන නමුත් පාසල් නොයවන විශේෂ දරුවන් පිරිසක් සිටින බව ද ප්‍රාදේශීය මට්ටමින් ඔවුන් වෙනුවෙන් ක්‍රියාත්මක වියයුතු බවද අවධාරණය කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT