මෙරට කීර්තිමත් දේශපාලනඥයකු වූ දිවංගත, හිටපු අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතාගේ 87 වන ජන්ම දිනය වෙනුවෙන් මෙවර ප්‍රධාන දේශනය පැවැත්වූයේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාය. “Gateway of Exports අපේ ගමෙන් ලොවට” ලෙස කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පසුගිය 30දා පැවති එම දේශනය ඇසුරෙන් මෙම ලිපිය සැකසිණි.
නිදහස් ආමන්ත්‍රණයක් වූ, මෙවර ලලිත් ඇතුලත්මුදලි සමරු දේශනයේදී අතිශය වැදගත් අදහසක් ඉස්මතු වූයේය. “Gateway of Exports අපේ ගමෙන් ලොවට” ලෙස නම් කෙරුණු එම දේශනයේ වැදගත්කම තවත් ඉහළ යන්නේ, එම අදහස් මතු කළේ රටේ අග්‍රාමාත්‍යවරයා වීම හේතුවෙනි. එහි තවත් විශේෂත්වයක් වන්නේ වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ‘අනාගත බිය’ට ඇති හොඳම පිළිතුරක් එහි අන්තර්ගත වීම යැයි කිවහොත් එහි අසාධාරණයක් තිබිය නොහැක.
ඉඩම් පිළිබඳ අය-වැය යෝජනාව
ප්‍රවේශයක් ලෙස මෙවර අය-වැෙයහි සුවිශේෂී කරුණක් කෙරෙහි අවධානය යොමු කරමු. මුදල් අමාත්‍යවරයා ලෙස මෙවර 2024 අය-වැය ඉදිරිපත් කරමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා “උරුමය” නමින් වැඩසටහනක් ඉදිරිපත් කළේය. ඔහු ප්‍රකාශ කළේ, “…1897දී ලංකා මුඩුබිම් ආඥා පනත සම්මත වුණා. ඒ යටතේ රට පුරා ගැමි ඉඩම් අක්කර දහස් ගණනක් බ්‍රිතාන්‍ය රජය අත්පත් කරගත්තා. ඉන් පසුව, 1935දී ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ගොවියන්ට බලපත්‍ර ක්‍රම මඟින් එම ඉඩම් කොටස් ලබා දුන්නා. හැබැයි අවුරුදු සියයකට ආසන්න කාලයක් ගෙවී ගියත්, මේ ගොවිබිම්වල අයිතිය, ඒවා හිමි ගොවි ජනතාවට යළි පවරාදීමක් සිදු වුණේ නෑ….” එසේ කී ජනාධිපතිවරයා, “අප ඒ ගම්බිම් යළිත් ගොවි ජනතාවගේ පුද්ගලික අයිතියට පවරා දෙනවා. බ්‍රිතාන්‍ය සමයේ පාරම්පරික ඉඩකඩම් අහිමි වූ ගොවි ජනතාවට යළිත් ඒ ගොවිබිම්වල පූර්ණ පුද්ගලික අයිතිය අපි ලබා දෙනවා. මෙම කාර්යය 2024 වර්ෂයේ ආරම්භ කොට තවත් වසර කීපයක් ඇතුළත සම්පූර්ණයෙන්ම නිම කිරීම අපගේ අපේක්ෂාවයි. පවුල් ලක්ෂ විස්සකට (2,000,000) මෙමඟින් ඉඩකඩම් හා ගොවිබිම් අයිතිය ලැබෙනවා. මේ වෙනුවෙන්, රුපියල් බිලියන 2ක් වෙන් කරනවා…” යනුවෙන් ද පවසා සිටියේය.
මෙසේ මේ වැඩසටහන අය – වැයට එකතු වන්නේ, “ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන සහ ආහාර සුරක්ෂිතතා වැඩපිළිවෙළ” අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වගකීම හොබවන, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ රට පුරා ක්‍රියාත්මක වෙමින් තිබියදීය. පසුගිය 2022 වසරේ සැප්තැම්බර් මාසයේදී ආරම්භ වූ මෙම වැඩසටහන, ජනපතිගේ ද මැදිහත්වීම මත ‘අලුත් ගමක් අලුත් රටක්’ ජාතික ඒකාබද්ධතා සහභාගීත්ව සංවර්ධන වැඩසටහන ලෙස පසුව තවත් පියවරක් ඉදිරියට තැබුවේය. එහි ප්‍රගතිය පිළිබඳ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙවර අය – වැය විවාදයේ සිය අමාත්‍යාංශයේ කාරක සභා අවස්ථාවට පසුගිය නොවැම්බර් 28දා එක්වෙමින් මෙරට ගොවි ජනතාවට කෘතවේදී වෙමින් සඳහන් කළේ “ආර්ථික පුනර්ජීවන සහ ආහාර සුරක්ෂිතතා වැඩපිළිවෙළ නිසා රටේ ඉහළම අස්වැන්න කරා පැමිණීමට හැකි වුණා” යනුවෙනි. මේ අතර අගමැතිවරයා අඛණ්ඩව දැරූ මතය වූයේද ‘වගා කිරීම සඳහා ගොවීන්ට රජයේ ඉඩම් ලබාදීමේදී, කිසිම රජයේ නිලධාරියකු, නීතිරීති පෙන්වමින් එයට හරස් නොවිය යුතු’ බවය.
අපේ ගමෙන් ලොවට සහ ඉඩම් ප්‍රතිසංස්කරණ
ලලිත් ඇතුලත්මුදලි මහතාගේ 87 වන ජන්ම දිනය වෙනුවෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පසුගිය නොවැම්බර් 30දා පැවැති ඒ දේශනය ‘නිදහස් ආමන්ත්‍රණයක්’ බවට පත් කරගත් දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසීය “…විශේෂයෙන් ගොවීන්ගේ සහ ගම්වාසීන්ගේ ආහාර සුරක්ෂිතතාව සහ අපනයනය ඉලක්ක කරගත් නිෂ්පාදනයන් සඳහා වගා කිරීම පිණිස තවත් ඉඩම් වෙනුවෙන් වූ ඔවුන්ගේ හඬත්, ආයාචනයත් ප්‍රතිරාවය කිරීමට කැමැත්තෙමි. ඉඩම්වල අයිතියට වඩා ඔවුන් අපේක්ෂා කරන්නේ වගා කිරීම සඳහා ප්‍රවේශවීමේ බලයයි. අපි මේ නිදහස් ඉල්ලීම ‘අපේ ගමෙන් ලොවට’ ලෙස නම් කරමු.” මෙසේ කී ඔහු ප්‍රයෝගික වැඩපිළිවෙළක් පිළිබඳව ද පැහැදිලිව ප්‍රකාශ කළේය.
“..ගම්මාන 3-4කින් සමන්විත වන්නා වූ ග්‍රාම නිලධාරී වසම් 14,000කට අධික ප්‍රමාණයක් සම්බන්ධ කරන්නා වූ ‘අපේ ගමෙන් ලොවට’ නම් මෙම නව අපනයන ප්‍රවේශයට රට පුරා ගම්මාන 40,000කට අධික සංඛ්‍යාවක් අයත්වනු ඇත. අපගේ ගමන දිස්ත්‍රික්ක 25ක ප්‍රාදේශීය බලප්‍රදේශ 334ක් හරහා පළමු ග්‍රාම නිලධාරී කොට්ඨාස 1000කින් ආරම්භ විය යුතු අතර, කොට්ඨාස 5000ක් හෝ සමස්ත ග්‍රාම නිලධාරී කොට්ඨාසවලින් තුනෙන් එකක් සාක්ෂාත් කරගැනීම ඉලක්ක කරගනිමින්, එමඟින් ඍජුවම ජාතික ආහාර සුරක්ෂිතතාවට දායක කරගැනීම සහ වටිනා විදේශ විනිමය උපයා ගැනීම සඳහා අතිරික්තය අපනයනය කිරීම සඳහා විය යුතුය. ඒ සඳහා සියවස් ගණනාවක් පරම්පරා ගණනාවකට අහිමි වූ ලක්ෂ සංඛ්‍යාත ඉඩම්, නව පරපුර වෙත නිදහස් කළ යුතුය. මෙම ඉඩම් දශක ගණනාවක් තිස්සේ සහ සමහරක් සියවස් ගණනාවක් තිස්සේ විශාල වශයෙන් ඌන උපයෝජනයට හෝ ප්‍රයෝජනයට නොගෙන හෝ පවතී. ඔවුනට විදේශ විනිමය ඉපැයීමේ කටයුතුවල නියැළීමටත්, තමන්ගේ ආදායම් උත්පාදනය වැඩිදියුණු කරගැනීමටත්, එමඟින් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනතාව ගිලගෙන ඇති දැඩි දරිද්‍රතාවයෙන් සහ ණය බරින් මිදීමටත් හැකිවේ. මෙම ඉඩම්, ආහාර හා අපනයන නිෂ්පාදනය සඳහා විවිධ යෝජනා ක්‍රම යටතේ පැවරිය හැකිය…”
මේ රටේ පවතින ප්‍රධාන ගැටලුවක් වන්නේ ඉඩම්ය. ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා, ‘ශ්‍රී ලංකාවේ ඉඩම් ප්‍රතිසංස්කරණ’ යන තේමාව යටතේ පිලිප් ගුණවර්ධන 51 වන ගුණ සමරු දේශනය පවත්වමින් 2023 මාර්තු 29 දින කොළඹදී ප්‍රකාශ කර සිටියේ, ශ්‍රී ලංකාවේ ගොවීන්ගෙන් 27%කට කිසිදු ඉඩම් අයිතියක් නොමැති බවත්, ඊට ප්‍රධාන හේතුව 1840දී බ්‍රිතාන්‍ය රජය විසින් ඉඩම් (බලෙන්) අල්ලාගැනීමේ ආඥා පනත යටතේ සියලු ඉඩම් රජයට පවරා ගැනීම බවත්ය. ඔහු උදාහරණයක් දක්වමින් පෙන්වූයේ, කිසිදා යටත් විජිතයක්ව නොතිබූ තායිලන්තයේ මුළු භූමි ප්‍රමාණයෙන් 80%ක් පෞද්ගලික අයිතිය යටතේ පවතින බවය. කෘෂිකර්ම, ආහාර හා සමුපකාර අමාත්‍යවරයා ලෙස පිලිප් ගුණවර්ධන මහතා 1956දී ඓතිහාසික කුඹුරු පනත ඉදිරිපත් කළේ අඳ ගොවි අයිතිය සුරැකීම සඳහා යැයි පැවසූ මහාචාර්යවරයා, සභාවේ සිටි ජනාධිපතිවරයා අමතමින් මෙසේ පැවසීය.
“ගරු ජනාධිපතිතුමනි, මා කලින් කී පරිදි, අද අපට ඉඩම් තොරතුරු පද්ධතියක් (Land Information System) අත්‍යාවශ්‍යයයි. මීට අමතරව, ස්වාධීන ඉඩම් කොමිසමක් (Independent Land Commission) ස්ථාපිත කළ යුතු යැයි මම යෝජනා කරනවා. කලින් කී පරිදි, යල්පැන ගිය ඉඩම් නීති රෙගුලාසි සංශෝධනය කළ යුතුයි. මෙහිදී ඉඩම් වෙළෙඳ පොළ ලිබරල්කරණයට ලක් කරන්නේ නම් ඒ සඳහා කිසියම් පාලනයක් සහිත වැඩපිළිවෙළක් අවශ්‍යයයි.”
තරුණයන්ට ඉඩම්
ඉඩම් සම්බන්ධයෙන් ඉතා වැදගත් කාරණයක් වන්නේ මෙරට තරුණ පරපුර ආහාර භෝග වගාවට දක්වන උනන්දුව හීන කිරීමට, වගාවට ඉඩම් ලබා නොදීම විශාල වශයෙන් බලපා තිබීමය. නව තාක්ෂණයෙන් යුක්ත තරුණ පරම්පරාව අපේක්ෂා කරන්නේ අලුත් ප්‍රවේශයකි. මේ අනුව මේ සඳහා නව නීතිරීති අත්‍යවශ්‍ය වනවා පමණක් නොව, ඒවා ඉක්මනින් ක්‍රියාත්මක කළ හැකි සරල මට්ටමකටද පත් කළ යුතුය. අනෙක් පැත්තෙන් වගාවට පමණක් නොව බලශක්තිය උත්පාදනය උදෙසාද ඉඩම්වල ඇති වැදගත්කම අගමැතිවරයා, සිය දේශනයේදී ඉස්මතු කර පෙන්වීය. “…වගාව සඳහා පමණක් නොව අපගේ බලශක්ති අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ද ඉඩම් භාවිත කළ යුතුය. විශේෂයෙන්ම විවිධ පුනර්ජනනීය විභවයන් හරහා බලශක්තිය නිෂ්පාදනය කිරීමට යොදාගත හැකි ඉඩම්, එමඟින් දේශගුණික අභියෝගයට සහායක් වශයෙන් පමණක් නොව, අපගේ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල අවශ්‍යතා සපුරාලීමට සහ ප්‍රවර්තනය සඳහා වැදගත් වේ. අපනයන භෝග පමණක් නොව, නව තාක්‍ෂණය සහ සන්නිවේදනය මඟින් අපගේ තරුණ තරුණියන්ට ශ්‍රී ලංකාවේ ගවේෂණය නොකළ අත්දැකීම් සංචාරක ලෝකයට සම්බන්ධ කිරීමට හැකිවනු ඇත. දේශගුණය ලෝකයට අභියෝග කරන විට, අපේ කලාපයේ අග නගරවල ජීවත්වන සහ සංචාරය කරන අය පවා නැවුම් වාතාශ්‍රය ආශ්වාස කිරීම සඳහා අවකාශයන් සොයනවා.”
අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සිය දේශනය නිමා කළේ මෙසේ පවසමිනි. “හිතවත් මිත්‍රවරුනි, අප සතු වන්නේ ආශ්චර්යයන් කළ හැකි දේශයකි. මෙය සාමූහිකව ආශ්චර්යයන් නිර්මාණය කිරීමේදී සහජීවනයෙන් කටයුතු කළ හැකි මිනිසුන්ට අයත් භූමියකි. ලක්ෂ සංඛ්‍යාත ගැමියන් සහ ඔවුන්ගේ පරම්පරාවට අනාගතය සඳහා විමුක්තිය ලබා දෙමින් ‘අපේ ගමෙන් ලොවට’ නව නිදහසේ ඉල්ලීම සිදුකිරීම සඳහා ශක්තිමත් වෙමු.”
රට බංකොලොත්භාවයෙන් ගොඩ ඒම සඳහා ස්ව ශක්තියෙන් නැඟී සිටීම හැර, ණය මත රැඳීම ස්ථාවර පිළිතුරක් ලෙස සැලකිය නොහැක. එහිදී ආහාර නිෂ්පාදනය ඉහළ නංවා, අපනයනය සඳහා දොරටු විවෘත කරගැනීමට අපේ ඉහළම සම්පතක් වන ඉඩම්, අතිශය වැදගත්ය. එවැනි පසුබිමක, වගාව උදෙසා ඉඩම් වෙත ප්‍රවේශවීමේ අයිතිය පොදු ජනතාව වෙත නීත්‍යනුකූලව ලබාදීම, කිසිවකු විරුද්ධ වන කාරණයක් විය නොහැකිය. මේ සඳහා හොඳම අවස්ථාවක් ලෙසද මෙම වකවානුව හැඳින්විය හැකිය. මේ නිසා මෙම රාජ්‍ය මට්ටමේ ප්‍රවේශය, යථාර්ථයක් බවට පත් කරගැනීම උදෙසා නීති විශේෂඥයන් ද, ඉහළ නිලධාරීන් ද වහ වහා කටයුතු කළ යුතුව තිබේ.
ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ