Home » ක්‍රිකට් ලොවට පෑයූ බෙලිඅත්තේ ගුරු තරුව

ක්‍රිකට් ලොවට පෑයූ බෙලිඅත්තේ ගුරු තරුව

by mahesh
December 15, 2023 1:00 am 0 comment

ඉහළ දක්ෂතා ඇති කාන්තාවෝ තම දක්ෂතා තුළින් අනාගත පරම්පරාවට ආදර්ශයක් ලබාදෙති. වෙහෙස මහන්සි වී වැඩ කළහොත්, තමන් ගැන විශ්වාස කළහොත් ඉලක්ක සපුරාගත හැකි බවට ආදර්ශ ලබාදී ඒ දක්ෂ කාන්තාවෝ අනාගතයේ බිහිවන නායකත්වයට මාවත විවර කරති.

කාන්තා ක්‍රිකට් තරගයකදී ක්‍රීඩිකාවක් ශතකයක් වාර්තා කිරීම ලෙහෙසි පහසු දෙයක් නොවන අතර, ප්‍රධාන පෙළේ කාන්තා ක්‍රිකට් තරගවලදී ක්‍රීඩිකාවක් ශතකයක් රැස්කළ පසු ඒ කෙරෙහි වැඩි අවධානයක් යොමුවේ. විශේෂයෙන්ම සීමිත ඕවර් ක්‍රිකට් තරගයකදී ශතකයක් රැස් කිරීම ක්‍රිකට් ක්‍රීඩිකාවකගේ ජීවිතයේ සිහින සැබෑවීමකි.

නිමාවූ අන්තර් සමාජ කාන්තා පළමු පෙළ ඕවර් 50 ක්‍රිකට් තරගාවලියේ ශතක 4ක් වාර්තා වූ අතර, එයින් ක්‍රීඩිකාවන් තිදෙනෙකු ශ්‍රී ලංකා කාන්තා පිලට ක්‍රීඩා කළ පළපුරුදු ක්‍රීඩිකාවෝ වූහ. අනෙක් ශතකලාභිනිය තවමත් ශ්‍රී ලංකා වරම් දිනා නොගත් ක්‍රීඩිකාවක්වීම මෙහි ඇති විශේෂත්වය වේ. ඇය දැනට අධ්‍යාපන අමාත්‍යාංශය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කරන එකම ගුරුතුමිය වීම තවත් විශේෂත්වයකි. ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විදුහලේ සිට පසුව ගාල්ල කතළුව ජාතික පාසලේ සෞඛ්‍ය හා ශාරීරික අභ්‍යාස ගුරුවරිය ලෙස සේවය කරන ඇය රුහුණු ජාතික අධ්‍යාපන පීඨයේ උපාධිධාරිනියකි.

ඇය නමින් පියුමි වත්සලා වේ. පානදුර ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන දකුණතින් හැඩකාර ලෙස පන්දුවට පහර දෙන මේ ක්‍රීඩිකාව විශාල අනාගතයකට හිමිකම් කියන බව පැහැදිලිය. බීආර්සී පිලට එරෙහිව පියුමි වත්සලා ලකුණු 119ක් ලබාගත් අතර, මෙවර තරගාවලිය පුරා හතරේ පහර 13ක් සමඟ ලකුණු 144ක් ලබා ගැනීමට සමත් වූවාය.

පියුමි වත්සලා පවසන්නේ ස්ථීර අධිෂ්ඨානයකින් යුතුව තම කණ්ඩායම වෙනුවෙන් අවශ්‍යම මොහොතක ලබාගත් ශතකයක් බැවින් එය ක්‍රිකට් ජීවිතයේ අමතක නොවන අත්දැකීමක් වූ බවය.

“එදා බීආර්සී සමඟ තරගයට යද්දී අපේ කණ්ඩායම තරග 5ක් ක්‍රීඩා කරලා තිබුණේ. එයින් තරග 2ක් පරාද වුණ නිසා බීආර්සී මැච් එක දිනන්න ඕනෑ වුණේ. මොකද අපිට සෙමි ෆයිනල් යන්න නම් ඒ තරගය වැදගත් වුණා. ඒ තරගයේදී අපේ ආරම්භක පිතිකාරිනියන් දෙදෙනා හොඳ සම්බන්ධතාවක් ගොඩ නැගුවා. මම මැද පෙළ ක්‍රීඩිකාවක් හැටියට පන්දුවට පහර දෙන්නේ. ඒ නිසා ආරම්භයේදී ලැබුණ ශක්තිය මට ශතකයක් ගහන්න පහසු වුණා. කොහොම වුණත් ලකුණු දෙක, තුන වගේ ඒවා දුවන කොට මට විශ්වාසයක් ගොඩ නැඟුණා අද මගේ දවස කියලා. මම එහා පැත්තේ මගේ ක්‍රීඩිකාව එක්ක කතා කරල ගොඩක් කෙටි ලකුණු ලබා ගත්තා. ඊට පස්සේ තමයි පහසු පන්දුවලට හතරේ පහරවල් එල්ල කළේ” පියුමි වත්සලා පැවැසුවාය.

“ඇත්තටම කතළුව ජාතික පාසලේ විදුහල්පතිතුමාගේ කාරුණික සහයෝගය නැත්නම් මේ වෙද්දී මා ක්‍රිකට් ක්‍රීඩාව නතර කරලා. බෙලිඅත්තේ ඉඳන් කොළඹට ඇවිල්ලා ක්‍රිකට් ක්‍රීඩා කරන එක පහසු නෑ. සමහර මාසවලදී කාර්ය බහුල වෙනවා. ඒ වගේ දැනට ගොඩක් දුෂ්කර පළාත්වල ක්‍රීඩිකාවෝ කාන්තා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ ඉන්නවා” පියුමි වත්සලා සඳහන් කළාය.

“ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම තවම මා නියෝජනය කරලා නෑ. මගේ ඉලක්කය ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවක් ලෙස රට නියෝජනය කරන්නයි. ඒ නිසා පිතිකාරිනියක් ලෙස ඉදිරියට යන්න ලකුණු අතරට එන්න මම ගොඩක් මහන්සි වෙනවා. මේ තරගාවලිය මට හොඳ අවස්ථාවක් වුණා. ඇත්තටම මේක තමයි මගේ මංගල ශතකය. ඒ ගැන ගොඩක් සතුටුයි මට. මගේ බලාපොරොත්තුව මගේ රට දිනවන්නයි” පියුමි වත්සලා නොසැලෙන අදිටනින් පැවැසුවාය.

“බෙලිඅත්ත ධම්මපාල විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියදී, ටී. කේ. බණ්ඩාර ගුරුතුමිය මාව මාතර දිස්ත්‍රික් පුහුණුකරු ප්‍රසන්න ගලප්පත්ති මහතා වෙත යොමු කළා. මුලින් මම වේග පන්දු යැව්වා. මාතර දිස්ත්‍රික් ක්‍රිකට් පිල පළමු ශ්‍රේණියට උසස්වීම් ලැබූ අවසන් තරගයේදී ලකුණු 16කට කඩුලු 4ක් ලබා ගත්තා. මගේ ගමනේදී මුල්ම පුහුණුකරු ප්‍රසන්න ගලප්පත්ති මහතාට අමතරව මාතර පළාත් පුහුණුකරු, හම්බන්තොට දිස්ත්‍රික් පුහුණුකරු ඇතුළු සෑම මට්ටමකදීම විශාල පිරිසක් සහයෝගය දැක්වූවා” ඇය ස්තුති පූර්වක සිහිපත් කළාය‍.

දක්ෂතා ඇති කාන්තාවන් බොහෝ විට අභියෝග මැද වුවද වෙහෙසකින් තොරව බහුවිධ වගකීම් හසුරුවමින් ඉදිරියට යන අයුරු තවත් පරපුරකට යහමඟ පෙන්වන පියුමි වත්සලා ගුරුතුමිය කියා දෙන කතාන්දරය වේ.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT