මහජන පීඩාවක් සිදුවන බවට තීරණය කර ස්ථිරව තහනම් කර ඇති මීරිගම හකුරු කුඹුර රේසින් ධාවන පථය තුළ නැවත මධ්‍යම පරිසර අධිකාරියේ විශේෂඥ නිලධාරීන් කැඳවා ඔවුන්ගේ අධීක්ෂණය යටතේ තරග පවත්වා ඒ පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට අවසර ලබා දෙන ලෙසට නීතිඥ ගාමිණී විජේතිලක මහතා මෝසමක් මගින් එම නඩුව කැඳවා කරන ලද ඉල්ලීමක් අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඊයේ (14) පස්වරුවේ ප්‍රතික්ෂේප කළේය.
මීරිගම ප්‍රාදේශීය සභාවේ අවසරයකින් තොරව නීති විරෝධීව කොසීබා නැමැති සමාගමක් විසින් මීරිගම හකුරු කුඹුර ගම්මානයේ පවත්වා ගෙන ගිය මෝටර් රථ හා යතුරුපැදි රේසින් ධාවන පථයෙන් මහජන පීඩාවක් සිදුවන බවට තීරණය කර පසුගිය ජුනි මස 01 වනදා අධිකරණය විසින් ස්ථිරව තහනම් කර ඇත.
නීතිඥ ගාමිණී විජේතිලක මහතා ඊයේ (14) පස්වරුවේ එම නඩුව මෝසමක් මගින් කැඳවා මධ්‍යම පරිසර අධිකාරියේ විශේෂඥ නිලධාරීන් කැඳවා අදාළ තරග පවත්වා ස්ථිර වශයෙන්ම මහජන පීඩාවක් සිදුවන්නේ ද යන්න පරීක්ෂණයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කිරීමට අවසර ලබා දෙන ලෙසට ඉල්ලා සිටියේය.
පසුගිය නොවැම්බර් මස 04 වනදා ද අධිකරණයේ අවසරය පරිදි කාර්මික තාක්ෂණ ආයතනයේ අධීක්ෂණය යටතේ මෝටර් රථ හා යතුරුපැදි පරීක්ෂණ තරග පැවැත්වූ බවද නීතිඥවරයා කීය.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා කරුණු දක්වමින් පෙර දිනයක අධිකරණයේ නියෝග පරිදි මධ්‍යම පරිසර අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධාන නිලධාරියෙකු වන හික්කඩුව ලියනගේ සමන් ප්‍රියන්ත මහතා අධිකරණයට පැමිණ සාක්කි කූඩුවට නැඟ දිව්රා රේසින් ධාවන පථ පරීක්ෂා කිරීමට මධ්‍යම පරිසර අධිකාරියට බලයක් නැති බව කියා ප්‍රකාශ කර ඇති බව කියා සිටියේය.
එදා රේසින් ධාවන පථ පරීක්ෂා කිරීමට බලයක් නැහැ කියූ මධ්‍යම පරිසර අධිකාරියට දැන් බලය ලැබුණේ කෙසේද යන්නත් මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණය ඉදිරියේ වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේය.
මෙහිදී මීරිගම පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඊ. ජී. ඇස්. පී. සුබසිංහ මහතා:-
ඔව් එදා මධ්‍යම පරිසර අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් බලධාරියෙකු වන හික්කඩුව ලියනගේ සමන් ප්‍රියන්ත මහතා සාක්ෂි දෙමින් මධ්‍යම පරිසර අධිකාරියට රේසින් ධාවන පථ පරීක්ෂා කිරීමට බලයක් නැති බව කියා සිටියා.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා තවදුරටත් දීර්ඝ ලෙස කරුණු දැක්වීම්වලින් අනතුරුව නීතිඥවරයා කරන ලද ඉල්ලීම එසේ ප්‍රතික්ෂේප කළේය.
නීතිඥ ගාමිණී විජේතිලක මහතා ඉල්ලීම ඉදිරිපත් කළේය.
මීරිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් පරිදි එහි නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඊ. ජී. ඇස්. පී. සුබසිංහ මහතා පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.