මහජන සෞඛ්‍යාරක්ෂාවට අහිතකර අයුරින් අපවිත්‍ර ලෙස ආහාර සැකසීම සම්බන්ධ චෝදනා රැසකට අධිකරණය හමුවේ වරදකරුවන් වූ හාලිඇළ බණ්ඩාරවෙල පාරේ පිහිටි හෝටලයක හිමිකරුට හා මුළුතැන්ගෙයි සේවකයින් දෙදෙනෙකුට බදුල්ල මහේස්ත්‍රාත්වරයා රුපියල් 60,000ක දඩ මුදලක් නියම කළේය.
එහිදී අදාළ හෝටලයේ හිමිකරු වන හාලිඇළ බෝගස්තැන්න ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකුට රුපියල් 40,000ක් හා එම හෝටලයේ මුළුතැන්ගෙයි සේවකයින් වන හාලිඇළ දික්වැල්ල වත්තේ පදිංචි 47 හැවිරිදි අයෙකුට සහ හාලිඇළ රොකතැන්න වත්ත පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකුට එක් අයෙකුට රුපියල් 10,000 බැගින්ද දඩ නියම විය. ඊට අමතරව හෝටලයේ සියලු අඩුපාඩු නිවැරදි කර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පරීක්ෂාවට ඉදිරිපත් කරන ලෙසද හෝටල් හිමිකරුට නියෝග කළේය.
හාලිඇළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ හාලිඇළ මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.එම්.ටී.පී. විජේසෝම සහ නෙළුව මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.එච්.ජේ.එම්. රොෂාන් විතාන යන මහත්වරුන් විසින් සිදුකරන ලද හදිසි සෝදිසියකට අනුව හෝටලයේ වැසිකිළියට සෘජුව විවෘතව පවතින ස්ථානයක ආහාර සැකසීම, මාළු සමඟ පරාටා, ෂෝටීස් ඇතුළු ආහාර ද්‍රව්‍ය එකම ශීතකරණය තුළ එකට ගබඩා කොට තැබීම, ආහාර ගබඩා කරන ශීතකරණය මාළු ලේ ආදියෙන් අපවිත්‍රව පැවතීම, යටින් කානුවට විවෘත වන පරිදි තැබූ ඉහළින්ද විවෘත කුටියක් වැනි තට්ටුවක ආහාර වර්ග සැකසීම, පරාටා, රොටී, සම්සා ඇතුළු නිමි ආහාර වර්ග මැස්සන්ට හා දූවිල්ලට විවෘත වන පරිදි අසුරා තිබීම, හෝටලය තුළ දුම්පානයට ඉඩදීම සහ හෝටල් සේවකයින් වෛද්‍ය පරීක්ෂණවලට භාජනය නොකොට සෞඛ්‍යාරක්ෂිත නොවූ තත්ත්වයෙන් සේවයේ යෙදවීම යන චෝදනා මත හෝටල් හිමිකරුට එරෙහිව නඩු පවරා තිබූ අතර ආරක්ෂිත ඇඳුම් අත්වැසුම් මුව වැසුම් හා හිස්වැසුම් ආදියෙන් සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය නොකරමින් ආහාර සැකසීම සම්බන්ධයෙන් මුළුතැන්ගෙයි සේවකයින් දෙදෙනාට එරෙහිව නඩු පවරා තිබිණි.