Home » නරක් වූ කුකුළු මස් – ඌරු මස් ප්‍රවාහනය කළ ලොරිය බළන්ගොඩදී අත්අඩංගුවට

නරක් වූ කුකුළු මස් – ඌරු මස් ප්‍රවාහනය කළ ලොරිය බළන්ගොඩදී අත්අඩංගුවට

by mahesh
December 15, 2023 1:00 am 0 comment

බළන්ගොඩ විශේෂ සම්පත් ප්‍රියනන්දන

මිනිස් පරිභෝජනයට නුසුදුසු අඩු උෂ්ණත්වයකින් ප්‍රවාහනය කරමින් තිබුණ අධික දුර්ගන්ධයක් වහනය වෙන නරක් වූ කුකුළු මස් කිලෝ 569ක් සහ ඌරු මස් කිලෝ 264ක් ප්‍රවාහන කරමින් තිබුණ ලොරි රථයක් සමඟ සැකකරුවන් දෙදෙනකු පෙරේදා (13) පස්වරුවේ අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා බළන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත භාර දුන් බව බළන්ගොඩ පොලිසිය පවසයි. දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ සිට බළන්ගොඩ ප්‍රදේශය දක්වා මෙම මස් තොගය ප්‍රවාහනය කරමින් තිබියදී බළන්ගොඩ කල්තොට මාර්ගයේදී රථවාහන පරීක්ෂාකිරීමකදී මෙලෙස අත්අඩංගුවට ගත් බව බළන්ගොඩ පොලිසිය පවසයි.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ බළන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීහු පැවැසුවේ මස් ප්‍රවාහනය කිරීමේදී ලොරි රථයේ ශීතකරණයේ තිබිය යුතු නියමිත උෂ්ණත්වයකින් මෙය ප්‍රවාහන කර නොමැති බවත් එම මස් තොගය නරක් වී දැඩි දුර්ගන්ධයක් වහනය වෙන බවයි.

මෙම සැකකරුවන්ට එරෙහිව නඩු පවරා එම මස් තොගය සහ සැකකරුවන් බළන්ගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන බව ද එම නිලධාරීහු පවසා සිටියේය.

මෙම මස් තොගය පරීක්ෂා කිරීම බළන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කේ.කේ.ඩී.එස්. කණ්ඩුල මහත්මිය, බළන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ.එම්.එම්.එල්. ජයවික්‍රම, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන එස්.එච්.ජී. සංජීව, ඒ.වී.ඒ.පී. ගුණරත්න, ආර්.ඒ.එන්. වසන්ත යන නිලධාරීහු විසින් සිදු කරනු ලැබූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT