Home » කෝටි 321ක හෙරොයින් සිමෙන්ති උඳුනක දමා පුලුස්සයි
2019 වැටලීමකදී ඇල්ලූ

කෝටි 321ක හෙරොයින් සිමෙන්ති උඳුනක දමා පුලුස්සයි

by mahesh
December 15, 2023 1:00 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත සහ පුත්තලම අතිෙර්ක හිරාන් ප්‍රියංකර ජයසිංහ, ඡායාරූපය - සුදත් නිශාන්ත

වසර 2019දී කළ වැටලීමකදී සිය භාරයට ගත් රුපියල් කෝටි 321කට අධික වටිනාකමක් ඇති හෙරොයින් කිලෝ ග්‍රෑම් 107ක ප්‍රමාණයක් අධිකරණ නියෝගයකට අනුව ඊයේ (14) විනාශ කෙරිණි.

එම හෙරොයින් තොගය පුත්තලමේ පාලවිය පිහිටි Insee සිමෙන්ති කර්මාන්ත ශාලවේ උඳුන් තුළදී අධික තාපයක් යටතේ පුත්තලම මහේස්ත්‍රාත්වරයා ඉදිරියේදී විනාශ කිරීම සිදු විය.

මෙම හොරොයින් කිලෝග්‍රෑම් 107 පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ භාරයට පත්වන්නේ, 2019 වසරේ දී ය. එම කාර්යාංශය විසින් කරන ලද වැටලීමක දී හෙරොයින් කිලෝග්‍රෑම් 107ක් සහ හෙරොයින් බවට සැක කෙරෙන කුඩු කිලෝ 01යි ග්‍රෑම් 104ක ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 09 දෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි. ඔවුන්ට කොළඹ මහාධිකරණයේ නඩු පවරා වරදකරුවන් වීමෙන් පසු පසුගිය ඔක්තෝබර් 12 වැනි දින ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී තිබේ. එහි දී මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර ඇත්තේ, එම හෙරොයින් තොගය විනාශ කරන ලෙසය.

ඒ අනුව අදාළ හෙරොයින් තොගය බස්නාහිර පළාත් මහාධිකරණ භූමියේ සිට පුත්තලමේ පිහිටි සිමෙන්ති කර්මාන්ත ශාලාව වෙත රැගෙන යාමට පියවර ගැණිනි. ඉදිරියේදී නඩු කටයුතු අවසන් වීමට පෙරද රස පරික්ෂක වාර්තා ලැබීමෙන් අනතුරුව මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ හැකියාව පවතින බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවසීය. නොබෝ දිනකින් තවත් හෙරොයින් කිලෝ ග්‍රෑම් දහසකට අධික ප්‍රමාණයක් විනාශ කිරීමේ හැකියාව ඇති බවද තෙන්නකෝන් මහතා කියා සිටියේය.

අදාළ හෙරොයින් තොගය වැඩබලන පොලිස්පති තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව යටතේ කොළඹ සිට පුත්තලම බලා රැගෙන යාමෙන් අනතුරුව පුත්තලමේ පිහිටි සිමෙන්ති කර්මාන්ත ශාලාවේදී අධික තාපය යටතේ එම හෙරොයින් තොගය විනාශ කිරීම සිදු කෙරිණි.

මේ අවස්ථාවට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පොලිස් විශේෂ කාර්ය බලකායේ සේනාවිධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, රස පරීක්ෂක කාර්යාලය, මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවී දෙපාර්තමේන්තුව සහ අධිකරණ කාර්යාල මණ්ඩලය ඇතුළු ආයතන රැසක නිලධාරීන් එක්ව සිටියහ.

දකුණු ආසියාවෙන් අල්ලාගත් විශාලතම​ ​කොකේන් මත්ද්‍රව්‍ය තොගය ලෙස සැලකෙන කිලෝ 928යි ග්‍රෑම් 229ක් පමණ ප්‍රසිද්ධියේ විනාශ කර දමනු ලැබුවේ මෙරට ඉතිහාසයේ පළමු වතාවට 2018 ජනවාරි 15 වෙනිදාය. එවකට එම කොකෙන් මත්ද්‍රව්‍ය තොගයේ වෙළඳපොළ වටිනාකම රුපියල් මිලියන 1400ක් පමණ වෙයි. එම කොකෙන් මත්ද්‍රව්‍ය තොගය අල්ලාගනු ලැබුවේ 2016 වසරේ දෙසැම්බර් මාසයේ 09 වැනිදා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කොළඹ ජැටියේදීය. මෙම මත්ද්‍රව්‍ය තොගය සහිත නෞකාව අල්ලාගනු ලැබුවේ එවකට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයාව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරි කමල් සිල්වා මහතාට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමක ප්‍රතිඵලයක් වශයෙනි.මෙලෙස විනාශ කෙරුණු හෙරොයින් තොගය රජයේ රස පරික්ෂකවරිය ඉදිරියේදී පරික්ෂාවට ලක්වූ අතර හෙරෝයින් තොගය විනාශ කිරීමට පෙර රස පරික්ෂක දෙපාර්තුමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් එහි සාම්පල පරික්ෂා කිරීම සිදුවිය.

එම සාම්පල පරික්ෂා කිරීමේන් පසු ලීටර් 500ක ජල බහලුම්වල ජලය සමඟ දිය කර ඒවා සෙල්සියල් අංශක 2300ක උෂ්ණත්වයකින් යුත් උඳුන වෙත රැගෙනවිත් එහිදී විනාශ කිරීම සිදුවිනි.

අදාළ හෙරෝයින් විනාශ කළ පුත්තලම පාලවි සිමෙන්ති කර්මාන්ත ශාලා පරිශ්‍රයට පොලිස් හා පොලිස් විශේෂ කාර්ය බළකා විශේෂ ආරක්ෂාවක් යොදවා තිබුනි.

මෙම අවස්ථාවට වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා සමඟ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂ ඩී.ජී.එච්.ප්‍රසාන්ත එක්ව තිබුනි.

ඒ සමඟම මෙම අවස්ථාවට අදාළ පහසුකම් සැපයීමට පුත්තලම සිමෙන්ති කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරිය කටයුතු කර තිබුනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT