Monday, April 21, 2025
Home » දරුවගෙයි මගෙයි හෙට ගැන හිතලා රට ගිය මහත්තයට මෙහෙම වෙයි කියලා හීනෙකින්වත් හිතුවෙ නෑ

දරුවගෙයි මගෙයි හෙට ගැන හිතලා රට ගිය මහත්තයට මෙහෙම වෙයි කියලා හීනෙකින්වත් හිතුවෙ නෑ

කොරියාවේදී මියගිය චතුරංගගේ මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් බිරිය පවසයි

by mahesh
December 15, 2023 1:00 am 0 comment

කොච්චිකඩේ - ඩී මිහිඳුකුල
ඝාතනයට ලක් වූ දුලාජ් චතුරංග

“මම බැඳලා අවුරුදු තුනයි මගේ මහත්තයා මගේ තාත්තා සමඟ එළවළු බිස්නස් කරමින් සිටියා. ලැබෙන ආදායම මදි නිසා විදේශ රැකියාවකට යන්න අදහස් කළා. අපට අවුරුද්දකුත් මාස දෙකක ළමයෙක් ඉන්නවා. විශේෂයෙන් විදේශ රැකියාවකට යන්න අදහස් කළේ දරුවාගේ සහ මගේ අනාගතය ගැන හිතලයි. ඒ ගිය කෙනාට මෙහෙම දෙයක් වෙයි කියල මම හීනෙකින්වත් හිතුවේ නැහැ.” කොරියාවේ රැකියාවකට ගොස් සිටියදී ඝාතනයට ලක් වූ පමුණුගම පදිංචිව සිටි බී.කේ. සෙනිත් දුලාජ් චතුරංගගේ මරණය ගැන ඔහුගේ බිරිය වන 26 හැවිරිදි මෙලනි වාසනා මෙසේ පැවසූයේ සිය සැමියාගේ දේහය මෙරටට රැගෙන ආ පසු කෙරුණු මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමිනි.

දකුණු කොරියාවේ සේවයට ගොස් සිටි ඇගේ සැමියා පිහියකින් ඇන ඝාතනය කරනු ලැබුවේ ඔහු සමඟ සිටි තවත් ශ්‍රී ලාංකික පුද්ගලයකු විසිනි. ඒ ඉකුත් 3 දා අලුයම් කාලයේදීය. මෙලෙස ඝාතනය වූ දුලාජ් චතුරංග ගේ දේහය මෙරටට ගෙන ආවේ පෙරේදා (13) ය. මීගමුව නාගරික හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය සිරි ජයන්ත මහතා ඉදිරියේ පැවති එම සාක්ෂි විභාගයේදී වැඩිදුරටත් සාක්ෂි දෙමින් මෙලනි වාසනා මෙසේද පැවසුවාය.

“පසුගිය අගෝස්තු 19 දා මගේ මහත්තයා තවත් කණ්ඩායමක් සමඟ කොරියාවේ රැකියාවකට ගියා. මේ අපරාධය කළ කෙනාත් මගේ මහත්තයා එක්ක එදාම ඒ ගමනට එක්ව සිටි බව මට දැනගන්න ලැබුණා. මගේ මහත්තයා එක්ක තවත් දෙන්නෙක් කාමරයේ නතර වෙලා ඉන්නවා. යාබද කාමරයේ මගේ මහත්තයාට පිහියෙන් ඇන්න බව කියන අරුණ මනෝජ් හා තවත් දෙන්නෙක් නවාතැන් ගෙන ඉඳලා තියෙනවා.එම මනෝජ් නිතර බීගෙන ඇවිල්ලා මගේ මහත්තයාට බැණවදිමින් නිතරම රණ්ඩුවලට පැටලෙන්න හදනවලු. සමහර දවස්වලට බීගෙන ඇවිත් කෑගහගෙන සින්දු කියමින් ගෝසා කරන බව එයා මට කියල තියෙනවා.

“මරණය වූ දවසේ ලංකාවේ වෙලාවෙන් රෑ නමයයි විසිඑකට මහත්තයා මට කතා කරලා එයා නිදාගන්න යනවා කියලා කිවුවා. පසුව රාත්‍රියේදී මගේ මහත්තයා නිදාගෙන සිටියදී මනෝජ් යන අය මගේ මහත්තයාට පිහියෙන් ඇන්නා කියලා මහත්තයලගේ ගෙදරට කතා කරලා ජයසූරිය යන අය කියලා තියෙනවා. පිහි ඇනුම සිදු කර ඒ පිහියත් අත ඇතිව මනෝජ් කාමරයෙන් පිට වෙලා යනවාත් දැක තිබෙන බව ඒ අය කියා තිබෙනවා. බාප්පා පැමිණ මට මේ සිද්ධිය කිවුවා. ඉන්පසු කොරියාවේදී ඔහුව එම රටේ අත්අඩංගුවට ගත් බව දැනගන්නට ලැබුණා.”

දේහය මෙරටට රැගෙන ඒමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය මීගමුව රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ඩබ්.ඒ.එස්.ආර්. වික්‍රමාරච්චි මහතා සිදු කළේය. තියුණු ආයුධයකින් පපුව විනිවිද යන ලෙස ඇනීමෙන් අධික රුධිරය වාහනය සිදු වීමෙන් මේ මරණය සිදුව ඇතැයි එම එහිදී අනාවරණය වී තිබිණි. ඒ අධිකරණ වාර්තාව හා සාක්ෂි සැලකිල්ලට ගෙන මීගමුව නාගරික හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය සිරි ජයන්ත වික්‍රමරත්න මහතා මේ මරණය අධික රුධිර වාහනය නිසා සිදු වූ සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් බවෙ සිය තීන්දුව මඟින් ප්‍රකාශයට පත් කළේය. කටුනායක ගුවන්තොටුපළ පොලිසියේ කොස්තාපල් 102277 සේනානන්ද මහතා සාක්ෂි මෙහෙයවීය.

මරණ පරීක්ෂණයෙන් පසු දේහය බිරියට භාර දෙනු ලැබූ අතර, භූමිදාන කටයුතු කපුවත්ත පොදු සුසාන භූමියේදී එදිනම සිදු කරන ලදි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT