කහවත්ත පොලිස් වසමේ වැල්ලඳුර, වෙලේවත්තේ නිවෙසක ජීවත් වූ වයස අවුරුදු 71ක් වූ තිදරු මවකගේ ගෙල කපා ඝාතනය කිරීම සම්බන්ධව පොලිස් කණ්ඩායම් තුනක් යොදා පැති කිහිපයක් ඔස්සේ පරීක්ෂණ සිදු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. ඝාතකයා සම්බන්ධයෙන් හෝඩුවාවක් සොයාගැනීමට රත්නපුර පොලිසියේ නිල සුනඛ මාෂිගේද සහාය ගත් බව පොලිසිය පවසයි.
ප්‍රදේශයේ ප්‍රසිද්ධ සමාජ සේවිකාවක මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ සණස ව්‍යාපාරයේ හිටපු සහකාර ලේකම්වරියද වූ විනීතා එදිරිසිංහ මහත්මිය පෙරේදා (13) පස්වරුවේ මෙසේ ඝාතනය කරනවු තිබිණි.
වැල්ලඳුර වෙලේවත්ත නිවෙසේ සිය දියණියද සමඟ ජීවත් වූ මියගිය විනීතා මහත්මියගේ සිරුර දියණිය විසින් දැක ඇත්තේ ඇය රැකියාවට ගොස් සවස නිවෙසට පැමිණි පසුවය. එහිදී සිය මව නිවෙස පිටුපස කැපුම් තුවාල සහිතව ඇදවැටී සිටිනු දැක ඇති ඇය මේ ගැන පොලිසියට දැනුම් දීමත් සමඟ වහා ක්‍රියාත්මක වූ කහවත්ත පොලිසිය ඒ ස්ථානයට පැමිණ විමර්ශන ආරම්භ කළ බව කහවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කරුණාරත්න මහතා පවසයි.
මේ සාහසික මනුෂ්‍ය ඝාතනය පිළිබඳව අංශ කීපයක් යටතේ පරීක්ෂණ පවත්වන ලෙස රත්නපුර සහකාර පොලිස් අධිකාරි අජිත් කුමාර පිටිගල මහතාද අදාළ නිවෙසට පැමිණ ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපදෙස් පොලිසියට දී තිබිණි.
පැල්මඬුල්ල මහේස්ත්‍රාත් නුතිනන් සිරිවර්ධන මහතා සිද්ධිය වූ ස්ථානයේ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළ අතර, රත්නපුර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීහූ ස්ථානීය පරීක්ෂණය සිදු කළහ. අනතුරුව මළ සිරුර කහවත්ත මූලික රෝහලට රැගෙනවිත් ඇත.ඒ පිළිබඳව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (14) පැවැත්වීමට නියමිත ව තිබිණි.
මියගිය කාන්තාව දහවල් කාලයේ නිවෙසේ තනිවම සිටින බව පොලිස් පරික්ෂණවලදී හෙළි වී තිබේ. ඇයට සහ පවුලේ අයට තරහකරුවන් නොසිටි බවද පොලිස් පරික්ෂණවලදී අණාවරණය වී තිබේ. මේ අතර නිවෙස තුළ කොල්ලකෑමක් සිදු වූ බවට තොරතුරුද නැති බව පොලිසිය පවසයි. ඝාතනය කෙරුණු 71 හැවිරිදි මවගේ පුතා වන ජානක සුනෙත් ජාතික ගුවන්විදුලියේ නිදහස් මාධ්‍යවේදියකු වන අතර, එක් දියණියක් වෛද්‍යවරියකි.නිවෙසේ සිටි දියණිය කහවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරයි. ඇය හිටපු සෞඛ්‍ය අධ්යක්ෂ ජෙනරාල් ජයසුන්දර බණ්ඩාර මහතාගේ සහෝදරිය ද වෙයි