ධීවර ජනතාව මුහුණ දෙන ප්‍රශ්න සහ ඔවුන්ගේ ගැටලු විසඳීම සඳහා ඒවා ඉලක්ක කරගෙන ගැටලු විසඳීමේ ව්‍යවහාරික පර්යේෂණ පැවැත්වීම හා ඒවා ක්‍රියාත්මක කිරීම මඟින් නාරා ආයතනයේ විද්‍යාඥයන් විශාල කාර්යභාරයක් ඉටු කර ඇති බවත් ධීවර ක්ෂේත්‍රයේ සංවර්ධනයට හා රටේ ජනතාවගේ යහපැවැත්ම උදෙසා නාරා විද්‍යාඥයන්ට ඉමහත් දායකත්වයක් දිය හැකි බව තම විශ්වාසය බවත් ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා පැවැසීය.
ධීවර ඇමැතිවරයා මේ බැව් අවධාරණය කළේ ශ්‍රී ලංකාවේ ආර්ථික සමෘද්ධිය හා ආහාර සුරක්ෂිතතාව මෙන්ම තිරසර ධීවර කර්මාන්තය මැයෙන් නාරා ආයතනයේ පෙරේදා (13) පැවති විද්‍යාඥයන්ගේ වාර්ෂික සැසියේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.
ධීවර ප්‍රජාව සහ ධීවර කර්මාන්තයේ යෙදෙන සියලුම පාර්ශ්වකරුවන්ට අවශ්‍ය විද්‍යානුකූල මඟපෙන්වීම සහ දත්ත සොයාදීම නාරා ආයතනයේ පුත්තලම, ගම්පහ, කළුතර, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවල පිහිටුවා ඇති නාරා ආයතනයේ ප්‍රාදේශීය පර්යේෂණ මධ්‍යස්ථාන තුළින් සිදු කෙරෙනු ඇතැයි ද දේවානන්දා මහතා ප්‍රකාශ කළේය.
නාරා ආයතනය ධීවර අමාත්‍යාංශය යටතේ ඇති පර්යේෂණ ආයතනයක් ලෙස අරමුණු රැසක් ක්‍රියාත්මක කරන බවත් නාරා ආයතනයට අයත් ප්‍රාදේශීය පර්යේෂණ මධ්‍යස්ථාන ඇතුළු එම ආයතනයේ අනෙකුත් අංශවල සියලු සහයෝගයෙන් මෙම ගැටලු විසඳීමට කටයුතු කරමින් සිටින බවත් ඇමැතිවරයා කීය. එමෙන්ම ධීවර ක්ෂේත්‍රයේ සහ සාගර ක්ෂේත්‍රය තුළ මතුවන පරිසර ගැටලු ඇතුළු ප්‍රශ්න විසඳීම සඳහා පර්යේෂණ ව්‍යාපෘති සැලසුම් කිරීම ද මෙම ආයතනයේ වගකීම බවද ප්‍රකාශ කළ ඇමැතිවරයා පෙන්වා දුන්නේ ධීවර ප්‍රජාවගේ හා රටේ ආර්ථික සංවර්ධනය මෙන්ම සමාජ ආර්ථික උන්නතියට සහය වීම සදහා ඉදිරි වසර තුළදි රටට අවශ්‍ය පර්යේෂණ වාර්තා සකස් කිරීම නාරා ආයතනයේ වගකීම බවයි. ඒ සඳහා ධීවර විෂය භාර ඇමැතිවරයා ලෙස තමාගේ සහ අමාත්‍යංශය සතු සියලුම ආයතනවල සහයෝගය ලබා දීමට කටයුතු කරන බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය. මෙම අවස්ථාවට සහභාගි වූ ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ප්‍රකාශ කර සිටියේ අමාත්‍යාංශයේ සියලු ආයතන ඒකාබද්ධව ප්‍රවේශයක් ගෙන වැඩ කටයුතු කිරීම තුළින් ධීවර ක්ෂේත්‍රයේ විශාල ප්‍රගතියක් උදා කරගත හැකි බවයි.