වැට් බදු ප්‍රතිශතය ඉහළ යෑම තාවකාලික බවත්, අනාගතයේදී එය ඉවත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ බවත් එක්සත් ජාතික පක්ෂයේ කඩුවෙල ආසන සංවිධායක බිනර ජයවර්ධන මහතා පැවැසීය. ඔහු මේ බව පැවැසුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පෙරේදා (13) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා:
“වැට් බදු සංශෝධනය ගැන කතා කිරීමේදී 8%ක මට්ටමට වැට් බදු ගෙනත් තිබෙන මොහොතේදී, අපට අහිමි වු මුදල බිලියන 700කට වඩා ඉහළයි. ඒ අහිමි වීමෙන් ලැබූ ප්‍රතිවිපාකය මේ රටේ ජනතාව සියැසින් දුටුවා. ඒ ප්‍රශ්නකාරි මොහොත සකසාගැනීමට මුදල් මුද්‍රණය කිරීමට ගොස් නැවත උද්ධමනය අධික මට්ටමට ගොස්, දෙවෙනියට වැඩිම උද්ධමනය සහිත රාජ්‍ය බවට අප පත් වුණා. අත්‍යවශ්‍ය භාණ්ඩ ගන්න පෝලිම්වල ඉන්න වුණා. බලශක්ති අර්බුදයට ගොස් විදුලිය පැය 24ම නැති වෙලා ඉන්න තත්ත්වයකට යෑම, මෙවැනි ආර්ථික තීන්දුවල පල විපාක බව අපට හොඳටම දැනගැනීමට හැකියාව ලැබුණා. විශේෂයෙන්ම 15%ට වැට් බද්ද ගෙනැවිත් 9.2%ක ආර්ථික වර්ධන වේගයක් පවත්වාගැනීමට අපට හැකියාව ලැබුණා. ලබන වසරේදී 12%ක ආර්ථික වර්ධනයක් ලැබීමට අප අපේක්ෂා කරනවා. ඒ අනුව 18% මට්ටමට වැඩි කිරීමට සිද්ධ වුණා. එසේ නැති වුණොත් මුදල් අච්චු ගහමින් හෝ මේ පරතරය පියවා ගැනීමට අපට සිද්ධ වෙනවා; නැත්නම් රටකින් ණය ගන්න වෙනවා. ඒ ණය දෙන්නෙත් නැත් නම් අපට වෙන කරන්න දෙයක් නෑ. ඒ වගේම වැට් බද්ද අය කරන ප්‍රතිශතය ඉහළ යෑම තාවකාලිකයි. එය අනාගතයේදී ඉවත් කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
“අයවැයට සමගාමිව අධ්‍යාපනය සහ වෘත්තීය ක්ෂේත්‍ර යා යුතු මාවත පිළිබඳ ජනාධිපතිවරයා වඩා හොඳ පැහැදිලි කිරීමක් සිදු කළා. විශේෂයෙන්ම වෘත්තීය අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණුව ඇති කිරීම සහ විශ්වවිද්‍යාලයෙන් පිට වන තරුණයාට ඉදිරි අනාගතයේ ආර්ථිකයේ මුහුණ දෙන්න සිද්ධ වෙන වෘත්තීන්ට ප්‍රවේශ වීමට තිබෙන අපහසුතාව මඟහැරීමට ගැළපෙන ආකාරයේ විෂය මාලා විශ්වවිද්‍යාල තුළට ගෙනා ආ යුතු බව අවධාරණය කළා. මේ වෙනකොට ලෝකයම ක්‍රියාත්මක වෙන්නේ තාක්ෂණය සහ කළමනාකරණය කියන කාරණා පෙරදැරි කරගෙනයි. විශේෂයෙන්ම දේශීය සහ විදේශීය මට්ටමේ රැකියා කෙරෙහිත් මේ කියන කාරණා දෙක ප්‍රධාන වශයෙන් බලපා තිබෙනවා. පෞද්ගලික සහ රාජ්‍ය අංශය එකතු වී විශ්වවිද්‍යාල අධ්‍යාපනය වර්ධනය කිරීමත්, තාක්ෂණය සහ කළමනාකරණය දියුණු කිරීමත්, පවතින විශ්වවිද්‍යාල තවත් දියුණු කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රය නවීකරණය කිරීමත් සිදු කළ යුතුයි. ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලය වැනි ආයතන කුරුණෑගල සහ සීතාවක ප්‍රදේශවලත් ඇති කරන්නට පියවර ගෙන තිබෙනවා. ඉන්දියාවේ චෙන්නායිහි පිහිටා තිබෙන පරිගණක විද්‍යාව පිළිබඳ විශ්වවිද්‍යාලයක් මෙරටට ගෙන ඒමටත් අපේක්ෂා කරනවා. එයින් දකුණු ආසියාවේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට හැකියාව තිබෙන බව අපට පෙනී යනවා. දකුණු ආසියානු කලාපීය ශිෂ්‍යයන්ට අඩු වියදමකින් ඉගෙන ගැනීමේ අවස්ථාව අප රටේ විවර කර දීමට හැකියාව තිබෙනවා. විදේශ විනිමය ගැනීමටත් ඒ අනුව හැකියාව ලැබෙනවා. සමහර දකුණු ආසියානු කලාපීය රටවල් සහ අනෙකුත් රටවල් ලෝකයේ වෙනත් රටවලට යෑමට යම් අකැමැත්තක් දක්වනවා. ඒ වාසිය අත් කරගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව තිබෙනවා. උදාහරණයකට ඉන්දියාවේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙක්, පාකිස්තානයේ ඉගෙනගැනීමට අකැමැත්තක් දක්වනවා. බංග්ලාදේශයේ දරුවෙක් ඉන්දියාවට පැමිණ ඉගෙන ගැනීමට කැමැත්තක් දක්වන්නේ නෑ. එහෙත් මේ හැම රාජ්‍යයකම දරුවන් අපේ රටට පැමිණීමට කිසිදු අකැමැත්තක් දක්වන්නේ නෑ. මෙවැනි කාරණාවලට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව කැමැත්ත දිය යුතුයි කියන එක මතක් කළ යුතුයි.”