ඕනෑම ආපදාවකට ඔරොත්තු දෙන ප්‍රජාවක් ගොඩනැඟීම ආරම්භ වන්නේ දැනුම්වත් හා බලගැන්වුණු ජනතාවකින් බව ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසයි.
ආරක්ෂක ලේකම්වරයා මේ බව පැවැසුවේ පෙරේදා (13) කොළඹ මැරියට් හෝටල් පරිශ්‍රයේදී ඇරඹි ‘දකුණු ආසියාවේ රටවල පෙර සූදානම ඔස්සේ තිරසර ජාතික අපේක්‍ෂාකාරී ක්‍රියාමාර්ග සඳහා මුල පිරීම’ මැයෙන් පැවැත්වෙන දෙදින සංවාද වැඩමුළුවේ සමාරම්භක දේශනය පවත්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක ලේකම්වරයා මෙලෙස ද පැවැසුවේය.
“මහජනතාව දැනුම්වත් කිරීම, විධිමත් අධ්‍යාපනය සහ පුහුණු වැඩසටහන් යනු රටක ආපදාවලට මුහුණ දීමේ හැකියාව ගොඩනැංවීමේ මූලික පදාර්ථ වෙනවා. සාර්ක් රටවල් සමඟ අපගේ සහයෝගීතාව හුදෙක් රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවක් පමණක් නොව එය අසීරු අවස්ථාවලදී අප ලබා ගත් සාමුහික අත්දැකීම් තුළින් ඇති වූ බැඳීමක්. ආසියානු ආපදා පෙර සූදානම් මධ්‍යස්ථානය (ADPC), Bill & Melinda Gates පදනම, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ එක්ව රටක් වශයෙන් අප අපගේ ආපදා කළමනාකරණ හැකියාවන් ශක්තිමත් කළා පමණක් නොව කලාපීය වශයෙන් අනෙකුත් රටවල් සමඟ ද ඔරොත්තු දීමේ බැඳීමක් වර්ධනය කර තිබෙනවා.
ආපදා අවදානම් කළමනාකරණය සඳහා වන ශ්‍රී ලංකාවේ කැපවීම අද වන විට ආපදා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය තුළ අන්තර්ගත වූ පුළුල් පරාසයක් දක්වා විකාශනය වී තිබෙනවා. මේ ක්‍රියාවලිය හුදෙක් මාර්ගෝපදේශ මාලාවක් නොවේ. එය සුරක්ෂිත අනාගතයක් ගොඩනැංවීමේ අපගේ සාමූහික අධිෂ්ඨානය පිළිබිඹු කෙරෙන ප්‍රබල සාක්ෂියක්.”
USAID, SNAP සහ ADPC විසින් සංවිධාන කරන මේ වැඩමුළුවට සාර්ක් රටවල ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ ජාත්‍යන්තර පාර්ශ්වකරුවන්ගේ සංවිධානවල නියෝජිතයන් රැසක් සහභාගී වේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ (විශ්‍රාමික), ආසියානු ආපදා පෙර සූදානම් මධ්‍යස්ථානයේ ප්‍රතිචාර සහ ප්‍රතිසාධනය සඳහා සූදානම් වීමේ අධ්‍යක්‍ෂ ආචාර්ය සිසිර මදුරප්පෙරුම, හදිසි ප්‍රතිචාර පිළිබඳ ගෝලීය සංවර්ධන නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ආචාර්ය Valerie Bemo, USAID හි මානුෂීය ආධාර සඳහා වන කාර්යාංශයේ දකුණු සහ මධ්‍යම ආසියානු කලාපීය අධ්‍යක්‍ෂ ආචාර්ය Dustin Shiau සහ ආසියානු ආපදා පෙර සූදානම් මධ්‍යස්ථානයේ තාක්ෂණික ප්‍රධානී John Abo මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට සහභාගී වූහ.