පාස්කු ඉරිදා දේව මෙහෙයේ වැදගත්ම අංගය වන විශ්වාසයේ යාඥාව පැවැත්වෙන අතර උදෑසන 8.45ට පිපුරුමක් සිදු වූ බවත්, බැතිමතුන්ගේ සිරුරු දේව ප්‍රතිමාව අසල විසිරී තිබෙන ආකාරය දැකීමෙන් වික්ෂිප්ත වූ තමන් අල්තාරය දෙසට දිව ගිය බවත් කොච්චිකඩේ සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ ප්‍රධාන පරිපාලක ඇන්ටන් ජූඩ් ප්‍රනාන්දු පියතුමා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයක් ඉදිරියේ පෙරේදා (13) සාක්ෂි දෙමින් කියා සිටියහ.
කොච්චිකඩේ දේවස්ථානය ආගම් භේදයකින් තොරව සියලු බැතිමතුන් වන්දනාමාන කරන තැනක් වීම හා එදින විශේෂ දිනයක් වීම නිසා විශාල ජනකායක් පූජාවට සහභාගි වූ බවත්, ඔවුන්ගේ ශරීර කොටස් ඒ මේ අත විසිර තිබූ බවත්, ලේ ගලන තුවාලකරුවන් පිළිසරණ ඉල්ලා අයැදීම් කළ බවත් ප්‍රධාන පරිපාලක හිමිනම වැඩිදුරටත් පැවසූහ.
පාස්කු දා ප්‍රහාරය සම්බන්ධයෙන් මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත (සභාපති), අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයක් ඉදිරියේ මේ නඩුව විභාගයට ගැනිණි. ප්‍රහාරයට ලක් වූ දේවස්ථානයේ ඡායාරූප හා සීසිටීවී දර්ශන ඇසුරින් සාක්ෂි විමසීම කළ අතර, එහිදී ප්‍රධාන පරිපාලක හිමිනම කිහිප අවස්ථාවක ඉතා සංවේදී විය.
2019 වසරේ පාස්කු ඉරු දින කොළඹ, මීගමුව සහ මඩකලපුව ප්‍රදේශයේ පිහිටි කිතුනු දේවස්ථාන සහ ෂැංග්‍රිලා ඇතුළු සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් මොහොම්මදු ඊබ්‍රහිම් මොහොම්මදු නව්ෆර් හෙවත් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් මේ නඩුව ගොනු කර ඇත.
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270ක් යටතේ 2021 අගෝස්තු මස 10 වැනිදා නීතිපතිවරයා විත්තිකරුවන් 25 දෙනකුට එරෙහිව අධිචෝදනා භාර දෙන ලදි. නඩුවේ 17 වැනි විත්තිකරු ලෙස නම් කර සිටි යාසීර් බාබා අබ්දුල් රවුෆ් මියගොස් ඇති බව පසුව අනාවරණය විය.
25 වැනි චුදිත අසනීප වීම නිසා නඩුවට පෙනී නොසිටි අතර, අසනීපව සිටින 9 වැනි චුදිත බන්ධනාගාරයට රැගෙන යන ලෙස නඩු විභාගය ආරම්භයේදී සභාපති විනිසුරුවරයා නියම කළේය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශක්ති ජාගොඩ ආරච්චි මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දෙමින් පැමිණිල්ලේ සාක්ෂිකරු මෙසේ කීවේය.
“2019 වසරේ සිට අවුරුදු 3ක් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ ප්‍රධාන පරිපාලක ලෙස මා සේවය කළා. මගේ සහායක ලෙස චාමර බෙඩික් පියනම සේවය කළා. විශේෂ ආගමික දිනවල වෙනත් මීසම්වල පියතුමන් හා සහෝදරතුමන් ද ආගමික මෙහෙයන්ට සම්බන්ධ වෙනවා. පාස්කු ඉරිදා දේව මෙහෙයන් පහක් පැවැත්වීමට නියමිතව තිබුණා. උදෑසන 6.00ට සහ හැන්දෑවේ 6.00ට වශයෙන් දෙමළ භාෂාවෙන් දේව මෙහෙයන් දෙකක් පැවැත්වීමට නියමිතව තිබුණා. නමුත් එදින උදෑසන පියතුමන්ලා දෙදෙනා වෙලාවන් මාරු කරගෙන දේව මෙහෙයන් පැවැත්වීමට තීරණය කළා.
උදෑසන 8.00ට සිංහල දේව මෙහෙය පැවැත්වීමට තිබුණා. එය කරගෙන යන අතර මා උදේ 8.30ට පමණ පමණ කාර්යාලයට ආවා. යාඥා කිරීම් කර කාර්යාලයේ වැඩ ඇරඹුවා. සිරිතක් ලෙස කාර්යාලයේ සවි කර ඇති සීසීටීවී දර්ශන නැරඹුවා. විශාල ජනකායක් ප්‍රධාන ශාලාව දෙපස මෙන්ම එළියේ ද හිටගෙන සිටියා.
කාර්යාලයේ මා අසුන් ගන්නා තැනට අල්තාරය හොඳින් දිස් වෙනවා. විශ්වාසී යාඥාව ඇරඹුණු වහාම බැතිමතුන් බංකු ළඟ දණ ගසාගෙන සිටියා. මා සීසීටීවී පද්ධතිය දෙස බලා සිට ඉවත බලනවාත් සමඟම පිපුරුමක් සිදු වුණා. මට එය කුමක් දැයි සිතා ගැනීමට බැරි වුණා. මා එළියට දිව ගියා. බෝම්බ පිපිරීමක් සිදුව ඇති බවත්, තවත් බෝම්බයක් ඇති බව සමහරු කියනවා ඇහුණා. මා වහාම අගරදගුරු හිමිට සහ සහායක හිමිවරුන්ට දන්වා රෝගීන් රෝහල්ගත කිරීමට කටයුතු කළා. පිපිරීමෙන් පසු දේවස්ථානය පිළිසකර කළත් පිපිරුම සිදු වූ තැන එසේ තබන්නට අප තීරණය කළා.”
පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා, ශක්ති ජාගොඩ ආරච්චි ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටියහ.
අගතියට පත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශමිල් සිල්වා ඇතුළු නීතිඥයන් පිරිසක් පෙනී සිටී. අගතියට පත් තවත් පාර්ශ්වයක් වෙනුවෙන් නීතිඥ සුරේන්ද පෙරේරා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටිති.
විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ, රුෂ්ඩි හබීබ්, ගසාලි හුසේන්, අසඩ් මුස්තාපා, ඉමිටියාස් වහාබ්, රිස්වාන් උවයිස්, වසීම් අක්‍රම්, ඉසුරු දේවප්‍රිය, නදීශා කන්නන්ගර ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටිති.
වැඩිදුර විභාගය ජනවාරි මස 9 වැනිදාට කල් තබන ලදි.