Home » පොදු ජන පෙරමුණු දෙවැනි ජාතික මහ සමුළුව අද

පොදු ජන පෙරමුණු දෙවැනි ජාතික මහ සමුළුව අද

by mahesh
December 15, 2023 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

ශ්‍රී ලාංකේය දේශපාලන වංශ කතාවට නව පරිච්ඡේදයක් එක්කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දෙවැනි ජාතික මහා සම්මේලනය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේ දී උත්කර්ෂවත් අයුරින් අද (15) පස්වරුවේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

පක්ෂයේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මේලනය පැවැත්වීමට නියමිතව තිබෙන අතර, ඒ අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා ජාතික සංවිධායක, හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා, මැති ඇමතිවරුන් සහ සියලුම සහෝදර පක්ෂ නායකයින්, පක්ෂ සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් එක්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගතව ඇති සියලු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් සඳහා ද මේ වෙනුවෙන් ආරාධනා කර තිබෙන අතර, එම සම්මේලනය උත්කර්ෂවත් අයුරින් පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවේ සෑම දේශපාලන කෝට්ඨාසයකම වෙසෙන පාක්ෂිකයන්ට ආරාධනා කර තිබීම ද විශේෂත්වයකි. පකෂයේ ඉදිරි ක්‍රියාමාර්ග මෙන්ම රට ඉදිරියට ගෙනයන වැඩපිළිවෙළේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ භූමිකාව මෙහිදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා ජාතික සංවිධායක, හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

සම්මේලනය පස්වරු 2.00ට ආරම්භ වීමට නියමිතව තිබෙන අතර, මෙරට සෑම මැතිවරණ කොට්ඨාසයක්ම නියෝජනය කරමින් 5,000ට වැඩි පිරිසක් සහභාගි වීමට නියමිත බවද ඒ මහතා පෙන්වා දෙයි. අභියෝග රාශියක් මැද පසුගිය 2016 වසරේදී බිහිවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෑත ඉතිහාසයේ කෙටි කලක් තුළ ජයග්‍රහණ රැසක් අත්කරගත් දේශපාලන පක්ෂය ලෙස ඉතිහාසයට එක්ව තිබෙන අතර, එම පක්ෂය පිහිටුවීමෙන් අනතුරුව පැවැති පළමු පළාත් පාලන මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගනිමින් පක්ෂයේ ශක්තිය මැනවින් ප්‍රදර්ශනය කෙරිණි. එයින් අනතුරුව පැවැති ජනාධිපතිවරණය සහ මහා මැතිවරණය ද ජයගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස මෙරට ඉතිහාසයේ කෙටි කලකින් ලබාගත් සියලු ජයග්‍රහණ තම නම ඉදිරියේ සටහන් කර ගැනීමට සමත්කම් දැක්වීය.

මෙම පක්ෂය නිර්මාණය කර කෙටි කලකින් ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ කිසිවෙකුට සිදු කළ නොහැකි වූ දැවැන්තම මැයි දින රැලිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වූ බවත්, මෙම පක්ෂය විසින් පොහොට්ටුව ලකුණින් ඉදිරිපත්ව පළාත් පාලන මැතිවරණ‍ෙයන් මඟින් සියයට 85 ක ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකි වූ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පෙන්වා දෙයි. එයින් අනතුරුව ජාතික මැතිවරණය වූ ජනාධිපතිවරණයට ද ඉදිරිපත් වූ අතර, ඊට පක්ෂයේ එකඟතාවය මත ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරමින් 69 ලක්ෂයක් වූ ශ්‍රී ලාංකික ජනතාවගේ ඡන්දයෙන් ඉතිහාසගත වාර්තාවක් තබමින් ඒ මහතා ජනාධිපතිවරයා ලෙස පත්කිරීමට මෙම පක්ෂයට හැකි වූ බවත් ඔහු සිහිපත් කරයි.

වෙනත් කිසිඳු පක්ෂයක නොමැති අනුබද්ධ සංවිධාන 30 කට ආසන්නව අනුබද්ධව තිබෙන මෙම පක්ෂය මඟින් මෙරට කොට්ඨාස, ග්‍රාමීය, මන්ත්‍රී කොට්ඨාස, ග්‍රාම සේවා වසම්, ආසන, හා දිස්ත්‍රික් මට්ටමින් ජාතික වැඩපිළිවෙළක් මෙරට තුළ ක්‍රියාත්මක කරවීමට හැකිව තිබේ. ඒ අනුව ඉදිරි වසර පහ තුළදීත් පක්ෂය ඉතාමත් හොඳින් ශක්තිමත් කරමින් පාක්ෂිකයින්ව ආරක්ෂා කර ගනිමින් ඔවුන්ට ලබාදෙන ශක්තියත් එකතු කර ගනිමින් නව පාක්ෂිකයින් එක්කර ගනිමින් රජයත් ආරක්ෂා කර ගනිමින් ඉදිරියට ගමන් කරන පක්ෂයක් බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කටයුතු කරන බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT