Home » පහ ශිෂ්‍යත්ව විභාගය සරල කරයි 4,5 පන්ති වැඩවලට 30%ක් ලකුණු

පහ ශිෂ්‍යත්ව විභාගය සරල කරයි 4,5 පන්ති වැඩවලට 30%ක් ලකුණු

by sachintha
December 14, 2023 1:03 am 0 comment

 

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දැනට පවත්නා තත්ත්වයට වඩා ලබන වසරේ සිට සරල කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව සිසුන්ගේ සාක්ෂර හැකියාව සහ අංකන හැකියාව මැන බැලීමට ප්‍රමුඛතාව දීමට නියමිතය.

පවත්නා අධ්‍යාපන ක්‍රමයේ ප්‍රධාන වෙනස්කම් රැසක් ඉදිරි වසරේදී සිදු කරන බවත් ඒ යටතේ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් මේ වෙනස්කම් සිදු කරන බවත් අධ්‍යාපන ඇමැති, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේය.

හෙතෙම මේ බව පැවසුවේ 2022 පවත්වන ලද අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් සහ මේ වසරේ පැවැති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම ලකුණු ගත් සිසුන් ඇගැයීම සඳහා අමාත්‍යාංශයේදී ඊයේ (13) පැවැති උත්සවයට එක් වෙමිනි.

ඉදිරියේදී පැවැත්වෙන විභාගවලින් ලකුණු සියයට සියයක් ගැනීම මත පමණක් සිසුන් ඇගැයීම සිදු නොකරන බව ඇමැතිවරයා කීය. සිසුන් පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලබා ගන්නා ලකුණු මෙන්ම 4, 5 ශ්‍රේණි දෙක තුළ පන්ති කාමරයේදී සිදුකරන ඇගැයීම්වලින් 30%ක් ලකුණු ලබාගත යුතු බව ද ඔහු සඳහන් කළේය. මේ සඳහා සිසුන්ගේ අඛණ්ඩ පාසල් පැමිණීම පවත්වාගත යුතු බවත් හෙතෙම කීවේය.

මෙහිදී ගුරුවරුන් පක්ෂග්‍රාහිව කටයුතු කරනු ඇති බවට ඇතැම් මවුපියන් විවේචන එල්ල කළ හැකි වූවත් එවැනි තත්ත්වයන්ට ඉඩක් කිසිසේත් නැති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. සියල්ලට පෙර මවුපියන් සහ සිසු දරුවන් අතර ගුරුවරුන් කෙරෙහි පැහැදිලි විශ්වාසයක් ගොඩනංවා ගැනීම වැදගත් බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

පාසල් තුළ පන්ති කාමරවල සිසුන් ඇගැයීමට ලක් කරන අයුරු පාසල් මණ්ඩල මඟින් අධීක්ෂණයට ලක් කරන බව පැවසූ ප්‍රේමජයන්ත මහතා, හොඳම අධ්‍යාපනයක් ඇති රටක් ලෙස පිළිගැනෙන ෆින්ලන්තයේ පවා 9 ‍වැනි ශ්‍රේණිය තෙක් පාසල්වල යොදාගනු ලබන්නේ පන්ති කාමර මට්ටමින් කෙරෙන ඇගැයීම් පමණක් ‍බව ද කීවේය. එරට පාසල් සිසුන් විභාග මඟින් ඇගැයීමට ලක්කරනු ලබන්නේ 9 ශ්‍රේණියේ සිට බව ද පැවසීය.

සන්ධ්‍යා

කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT