Home » කාශ්මීරයේ ජනතාවගේ නිදහස තහවුරු කළ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ ඓතිහාසික තීන්දුව

කාශ්මීරයේ ජනතාවගේ නිදහස තහවුරු කළ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ ඓතිහාසික තීන්දුව

by sachintha
December 14, 2023 1:12 am 0 comment

මතභේදයට තුඩු දුන් කාශ්මීර් ප්‍රාන්තයේ ස්වයං පාලන අර්බුදය ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේදී නිමාවට පත් වී ඇත. වසර 1949දී එම ප්‍රාන්තයට ස්වයං පාලන අයිතිය ලබා දෙමින් ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 370 වැනි වගන්තිය ඇතුළත් කළ අතර, එවැනි පසුබිමක් යටතේ වුවද කාශ්මීරයේ ත්‍රස්ත ක්‍රියාකාරකම් බහුලව සිදු විය. දශක 60කට ආසන්න කාලයකට පසු ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් 370 වැනි වගන්තිය ඉවත් කර එහි කටයුතු මධ්‍යම රජයට පවරා ගැනීමට ඉන්දියාව පියවර ගනු ලැබුවේ තවදුරටත් එම ප්‍රාන්තයේ ජනතාවට පීඩනයෙන් හා දරිද්‍රතාවයෙන් යුතුව ජීවත්වීමට ඉඩ දිය නොහැකි බැවිනි.

ඉන්දිය රජය ගත් එම පියවර අභියෝගයට ලක් කරමින් ඇතැම් පාර්ශ්ව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කරනු ලැබුවේ එවැනි පසුබිමකදීය. මාස ගණනාවක් ශ්‍රේෂ්ඨාධිකරණයේදී එම පෙත්සම් විභාගය සිදු වූ අතර, තීන්දුව නිකුත් කරනු ලැබුවේ ඊයේ පෙරේදාය. ශ්‍රේෂ්ඨාධීකරණයේ පංච පුද්ගල විනිසුරු මඬුල්ල 5-0ක් ලෙස ඒකමතිකව තීන්දුව ලබා දුන්නේ ඉන්දීය රජය ගත් පියවර අනුමත කරමිනි.

පාකිස්තාන සම්භවයක් සහිත මුස්ලිම් ජාතිකයන්ගේ පළාතක් වන ජම්මු කාශ්මීරයේ ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා පාකිස්තානයෙන් සහාය ලැබෙන බවට වාර්තා වූවද බටහිර මාධ්‍ය ඉස්මතු කර පෙන්වා තිබුණේ ලොව වඩාත්ම හමුදාකරණයට ලක්වූ ප්‍රාන්තයක් ලෙසටය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩල සැසිවලදී පවා මේ සම්බන්ධව සාකච්ඡාවට ලක් වූ අතර, කාශ්මීරයේ සිදුවීම් සම්බන්ධව පාකිස්තාන නියෝජිතයන් ඉන්දියාවට චෝදනා එල්ල කර තිබිණි.

සැබැවින්ම ඒ වන විට ඉන්දීය රජය රුපියල් කෝටි ගණනින් මුදල් වැය කර ජම්මු කාශ්මීරයේ දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබිණි. එම ප්‍රාන්තයේ තරුණ තරුණියන් නීති විරෝධී කටයුතු සඳහා යොමුවීම මඟ හරවා ගැනීමටත්, කාන්තාවන්ගේ ස්වයං රැකියා උත්පාදනය ඉහළ දැමීමටත් පියවර රැසක් ගෙන තිබිණි. එමඟින් කාශ්මීර් ප්‍රාන්තයේ තරුණයන් ත්‍රස්ත සංවිධාන හා නීති විරෝධී කටයුතු සඳහා යොමුවීම වසර දෙකක් ගත වන විට 40% කින් අඩුවී තිබිණි. ත්‍රස්ත ක්‍රියාකාරකම් ද සැලකිය යුතු ආකාරයෙන් පාලනය වී තිබූ බව ජම්මු කාශ්මීරයේ ප්‍රාන්ත බලධාරීන් තහවුරු කර තිබිණි. මීට අමතරව එම ප්‍රාන්තයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට වැඩි අවධානයක් යොමු කරමින් ජන ජීවිත ඉහළ නැංවීමට ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබිණි. ශ්‍රෙෂ්ඨාධිකරණයේදී පෙත්සම් විභාගය සිදු වෙද්දී පංච පුද්ගල විනිසුරු මඬුල්ලේ අවධානය නිතැතින්ම ඒ සම්බන්ධව යොමු වන්නට ඇත.

ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේ ජනතාවට නිදහස් ජීවිතයක් ගත කිරීමට එරට රජය ගත් පියවර ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් තවදුරටත් තහවුරු වීම ඒකීය රාජ්‍යයක් ලෙස ඉන්දියාවට නැඟී සිටීමට මෙන්ම සෙසු ප්‍රාන්තවලට ලබා දී ඇති පහසුකම් එක හා සමානව භුක්ති විඳීමට ද කාශ්මිර ජනතාවට නිල වශයෙන් ලැබුණු අවස්ථාවකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT