දුම් ප්‍රහාරයකුත් එල්ල කරලා
ඉන්දීය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ සභා ගර්භයට ඇතුළු වූ නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් දුම් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. මාධ්‍යවේදින් ලෙස වෙස්වළා ගෙන පැමිණි බව කියන එම පුද්ගලයන් දෙදෙනා ඊයේ දහවල් 1.00ට පමණ පාර්ලිමේන්තු ගැලරියේ සිට සභා ගර්භයට කඩා පැන මේ දුම් බෝම්බ දමා ගසා ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.
දුම් බෝම්බ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන් දෙදෙනා සමඟ පාර්ලිමේන්තුවෙන් පිටත දුම් බෝම්බ දල්වමින් උද්ඝෝෂණයේ නිරත වූ තවත් පුද්ගලයන් දෙදෙනකු ද අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය. පාර්ලිමේන්තුවෙන් පිටතදී අත්අඩංගුවට ගත් එක් පුද්ගලයකු කාන්තාවක් බව ද වාර්තා වේ. ඔවුන් සතුව කර්ණාටක ප්‍රාන්තයේ භාරතීය ජනතා පක්ෂයේ මන්ත්‍රීවරයකු විසින් නිකුත් කරනු ලැබූ පාර්ලිමේන්තු අවසර පත් දෙකක් තිබී ඇත. ඕනෑම බාහිර පුද්ගලයකු පාර්ලිමේන්තුවට පිවිසීමට පෙර ආරක්ෂක පරීක්ෂාවන් 5කට මුහුණ දිය යුතු බැවින්, මේ සිදුවීම පාර්ලිමේන්තුවේ ආරක්ෂාව අභියෝගයකට ලක් කළ සිදුවීමක් බවට පත් වී ඇතැයි ද වාර්තා වේ.
එම දුම් බෝම්බවලින් හඳුනා නොගත් කහ පැහැති දුම් විහිදී ඇති අතර, සභා ගර්භය පුරා එම දුම් වළලු විසිරී ගොස් තිබේ. පසුව පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු අත්හිටුවීමට පියවර ගෙන ඇති අතර, පස්වරු 2.00ට පමණ නැවත කටයුතු ආරම්භ වීමෙන් පසු ප්‍රකාශයක් සිදු කරමින් කථානායක ඕම් බිර්ලා සඳහන් කර ඇත්තේ නවදිල්ලි පොලිසිය ඒකාබද්ධව මේ සිදුවීම සම්බන්ධව පුළුල් පරීක්ෂණයක් ක්‍රියාත්මක ආරම්භ කළ බවය. එම සිදුවිම වන විට අගමැති නරේන්ද්‍ර මෝදි සභා ගර්භයේ නොසිටි බවත්, විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් සභා ගර්භය තුළ අසුන්ගෙන සිටි බවත් වැඩිදුරටත් වාර්තා වේ. වසර 2001දී ඉස්ලාමීය ත්‍රස්තවාදීන් ඉන්දීය පාර්ලිමේන්තුවට එල්ල කළ ප්‍රහාරයේ 22 වැනි සංවත්සරය ද ඊයේ දිනයේ යෙදී තිබිණි.