කුකුළු ගොවිපොළකට අයත් රුපියල් ලක්ෂ 5කට වැඩි වටිනාකමකින් යුත් යන්ත්‍රෝපකරණ හා තවත් දෑ සොරා ගෙන යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු මුන්දලම පොලිසිය පෙරේදා (07) දින රාත්‍රි මුර සංචාරයේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගෙ උකුසු ඇස් හේතුවෙන් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නාරම්මල කෝට්ටපිටිය පදිංචි සැකකරුවන් දෙදෙනෙකි. ඔවුන්ගෙන් එක් අයකු ප්‍රසිද්ධ කුකුළු ගොවිපොළක නිලධාරියකු බව ද පොලිසිය පවසයි. අදාළ සැකකරුවන් මුන්දලම 15 කනුව ආසන්නයෙ මාර්ගය අසල ස්ථානයක ඔවුන් ගමන් කරමින් තිබු ඩිමෝ බට්ටා වර්ගයෙ ලොරි රථය නවතා තිබියදී රාත්‍රි යතුරුපැදි සංචාරයෙ නිරතව සිටි පොලිස් නිලධාරීන් වන පොලිස් සැරයන් (38085) අමරසිංහ හා (74785) ඉල්ෂාඩ් යන නිලධාරීන් දෙදෙනාගේ පරීක්ෂාවට ලක්ව තිබේ.
එහිදී අදාළ නිලධාරීන් දෙදෙනා මෙම ලොරි රථයෙ රියැදුරුගෙන් ප්‍රශ්න කරද්දී සැකකටයුකු ලෙස හැසිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන මුන්දලම පොලිසියට රැගෙන ඒමට කටයුතු කර තිබේ.
කෙසේ නමුත් මෙම උපකරණ කුමන ස්ථානයක ඒවා දැයි පොලිසිය සෝදිසි කරමින් සිටියදි මුන්දලම ප්‍රදේශයෙ අදාළ ප්‍රසිද්ධ සමාගමකට අයත් කුකුළු ගොවිපොළකින් පැමිණිල්ලක් ලැබී ඇත්තේ පෙර දින රාත්‍රියේ තම ගොවිපොළේ ලක්ෂ පහකට ආසන්න උපකරණ සොරා ගැනීමක් සිදු ඇති බවට ප්‍රකාශ කරමිනි.
එම පැමිණිල්ල දැමීමට පැමිණි නිලධාරීන්ට උපකරණ හඳුනා ගැනීමට හැකි දැයි පොලිසිය කළ දැනුම් දීමෙන් පසු අදාළ ලොරියේ තිබූ අත්අඩංගුවට ගත් දෑ පෙන්වීමේදී අදාළ උපකරණ තම ගොවිපොළට අයත් ඒවා බවට හඳුනාගෙන තිබේ.
ඉන්පසු මේ පිළිබඳව කළ විමර්ශනවලදී හෙළිව ඇත්තේ අදාළ කුකුළු ගොවිපොළේ ඉහළ නිලධාරියකු වන කෘෂිකර්ම පීඨ ඩිප්ලෝමාධාරියකු විසින් තම සොහොයුරා පවත්වාගෙන යන කුකුළු ගොවිපොළට මෙම උපකරණ හා අනිකුත් දෑ සොරකම් කර ලබා දී ඇති බවයි.
නමුත් අදාළ කෘෂිකර්ම පීඨ ඩිප්ලෝමාධාරී තරුණයා අදාළ සමාගමේ ඉහළ නිලධාරීන්ගේ හිත දිනාගත් අවංක නිලධාරියකු ලෙස නම් දරා සිටි බවත් ඒ හේතු මත මෙම නිලධාරියාව ළඟදීම විවෘත වීමට නියමිත එම සමාගමේ තවත් ගොවිපොළක කළමනාකරු කරමින් ලක්ෂ දෙකකට ආසන්න වැටුප් මත සේවයෙ පිහිටුවීමට ද සූදානමින් සිටි බව පවසයි.
සිදුකළ විමර්ශනවලින් පසු මෙම සැකකරුවන් දෙදෙනාම පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මුන්දලම පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසිත ලක්රුවන් මහතා සමඟ වැඩ බලන පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක දිසානායක යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.