Home » අයඩින් නැතිව ලුණු නිෂ්පාදනය කළ පුත්තලමේ කෝටිපති ව්‍යාපාරිකයාට දඩ

අයඩින් නැතිව ලුණු නිෂ්පාදනය කළ පුත්තලමේ කෝටිපති ව්‍යාපාරිකයාට දඩ

by mahesh
December 8, 2023 1:00 am 0 comment

පුත්තලම අතිරේක - හිරාන් ප්‍රියංකර ජයසිංහ

නිසි ප්‍රමිතියක් නොමැතිව ලුණු නිෂ්පාදනය කර අලෙවි කළ පුත්තලම නගරයේ ව්‍යාපාරිකයකු චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් වරදකරු කරමින් මාස හයක ලිහිල් සිර දඬුවමක් නියම කර එය වසර පහක කාලසීමාවකට අත්හිටුවමින් රුපියල් 12500ක දඩ මුදල් ගෙවීමට නියම කිරීමට ආණමඩුව මහේස්ත්‍රාත් නිරෝෂා එම්. පටබැඳිගෙ මහත්මිය නියෝග කර තිබුණි.

මෙසේ අත්හිටවූ සිර දඬුවම් සමඟ රුපියල් 12500ක දඩ මුදලක් නියම වුයේ පුත්තලම පැරණි මන්නාරම මාර්ගයේ පිහිටි ගවුස් කොටෙජ් ඉන්ඩ්‍රස්ට්‍රිස් (GHOUSE COTTAGE INDUSTRIES) නමැති ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු වන මොහොමඩ් තාහිර් මොහොමඩ් ගවුස් නමැති පුත්තලම නගරයේ ප්‍රධාන පෙළේ කෝටිපති ව්‍යාපාරිකයකු වන ලුණු නිෂ්පාදකයකුටය.

අදාළ ව්‍යාපාරිකයාට අයත් සිලෝන් සෝල්ට් (CEYLON SALT) නමැති ලුණු පැකට් මහකුඹුක්කඩවල සෙම්බුකුලිය ප්‍රදේශයේ වෙළෙඳ සැලක අලෙවියට තබා තිබියදී මහකුඹුක්කඩවල කොට්ඨාසය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක නීල් ජයසිංහ මහතා විසින් අදාළ ලුණුවල නියමිත අයඩින් ඇතුළු සාන්ද්‍රණ තිබේ දැයි යන්න පිළිබඳව රජයේ රස පරීක්ෂකවරයාට යවා තිබූ අතර, රස පරීක්ෂකවරයා විසින් එවා තිබූ වාර්තා අනුව මෙම ලුණු සාම්පලවල නියමිත අයඩින් ප්‍රමාණයක් නොතිබීම, ජල අපද්‍රව්‍ය අළු වැඩි ප්‍රමාණයක් අන්තර් ගතවීම, නියමිත ප්‍රමාණයේ කැට නොතිබීම චෝදනා එල්ල වී තිබුණි.

ඒ අනුව අදාළ කෝටිපති ව්‍යාපාරිකයාට චෝදනා එල්ල වී තිබූ අතර, මෙම වැටලීම කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අදාළ ව්‍යාපාරිකයාටත් එම ලුණු බෙදාහරින්නාටත් සේම අලෙවි කළ වෙළෙඳ සැල් හිමියාටත් චෝදනා එල්ල කර තිබුණි.

මෙම චෝදනා එල්ල කර තිබුණේ 2005 ආහාර (ලුණු අයඩිනීකරණය කිරීමේ) රෙගුලාසි උල්ලංඝනය කරමින් අයඩින් නියමිත ප්‍රමාණයට අඩංගු නොවු තත්ත්වයෙන් බාල ලුණු නිෂ්පාදනය කිරීම නිසාය.

ඒ අනුව අදාළ නඩුව සම්බන්ධයෙන් ආණමඩුව අධිකරණයේ පෙනී සිටි මෙම සැකකරුවන් තිදෙනාට දඩ මුදල් සමඟ අත්හිටවූ සිර දඬුවම් නියම කිරීමට මහේස්ත්‍රාත්වරයා කටයුතු කර තිබුණි.

එහිදී මෙම ලුණු නිෂ්පාදනය කළ කෝටිපති ව්‍යාපාරිකයාට මාස හයක ලිහිල් සිර දඬුවමක් වසර 5කට අත්හිටුවමින් රුපියල් 12500 දඩ මුදලක් ද, බෙදාහැරීම් සිදුකළ එම්.එල්.එම්. රිම්ෂාන් නමැති අයට මාස තුනක ලිහිල් සිර දඬුවම වසර 5කට අත්හිටුවමින් 12500ක දඩ මුදලක් ද ඒ සමඟම අදාළ ලුණු පැකට් අලෙවි කිරීමේ චෝදනාවට වෙළෙඳ සැල් හිමිකරුට පෙර වැරදි නොමැති වීම හේතුවෙන් රුපියල් 3000ක දඩ මුදලක් පමණක් ලබාදීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කෙරුණි.

අදාළ නඩුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි මහකුඹුක්කඩවල කොට්ඨාසය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක නීල් ජයසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා සිටියේ ප්‍රමිතියෙන් බාල ලුණු දිගින් දිගටම පුත්තලමින් දිවයින පුරා විවිධ ප්‍රදේශ වෙත බෙදාහැරීම සිදුවන බවයි.

එයින් මහජනතාවට බරපතළ සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණ දීමට සිදුවන බව ද දන්වන්නට විය.

අධිකරණය හමුවේ වරද පිළිගත් වැරදිකරුවන් අදාළ නීතිමය කරුණු යටතේ තම ව්‍යාපාර පවත්වාගෙන යාමට කටයුතු කරන බව දන්වන්නට විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT